ලැරී කිංග් සමුගනී



ඇමෙරිකාවේ සී.එන්.එන්. නාළිකාවේ දේශපාලන සංවාදශීලී වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස ලොව ප්‍රකට ලැරී කිංග් දිවි ගමනට සමු දුන්නේය.

87 හැවිරිදි වියෙහි පසුවුණු ලැරී කිංග්, ‘කොවිඩ් 19’ කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමෙන් පසු, ලොස් ඇන්ජලීස් නුවර සෙඩාර්ස් සීනායි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිද්දී මියගිය බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

කොරෝනා ආසාදිතයකු හඳුනා ගැනීමෙන් පසු ලැරී කිංග් රෝහල්ගත කෙරුණේ මෙම මස ආරම්භයේදීය. ලැරී කිංග් රෝගී තත්ත්වයන් රැසකින් පීඩා විඳි අයෙකි.

2017 දී පෙනහළු පිළිකා රෝගියකු බව තහවුරු විය. එම පිළිකාව සැත්කමකින් ඉවත් කිරීමට වෛද්‍යවරු සමත් වූහ. සැත්කම සාර්ථක විය. ලැරී කිංග් හදවත් රෝගියකු වී සිටි අතර 2019 දී හෘදයාබාධයකට ලක් විය. මාස කීපයක් සිහිසුන්ව කෝමා තත්ත්වයකින් පසු විය.

දශක 6 ක් තිස්සේ සී.එන්.එන්. නාළිකාවේ ‘ලැරී කිංග්ග් ලයිව්’ දේශපාලන සංවාදශීලී වැඩසටහන හරහා ලැරී කිංග් ලෝක නායකයන්, ජනප්‍රිය මෙන්ම කැපී පෙනෙන පුද්ගලයන් 50,000 කට වැඩි දෙනකු සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වා ඇත. ඒ, 1985 සිට 2010 කාලයේය.

(රොයිටර්)


RECOMMEND POSTS