නම්බු නාමවලින් ඉවත්වීම ගැන දුකයි



රාජකීය යුතුකම් හා වගකීම් මෙන්ම රාජකීය නම්බුනාමවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් කනගාටු වන බව බි‍්‍රතාන්‍යයේ හැරී කුමරු ඉරිදා (19) ප්‍රකාශ කළේය.

බි‍්‍රතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් මාකෙල් තවදුරටත් රාජකීය පවුලේ නම්බුනාම සහිත සාමාජිකයන් නොවන බව බකිංහැම් මාලිගය සෙනසුරාදා (18) නිවේදනය කළේය.

රාජකීය යුතුකම් සහ වගකීම් අඩු කර උතුරු ඇමෙරිකාවට ගොස් වැඩි කාලයක් නිදහසේ ගත කිරීමට අවශ්‍ය බව හැරී හා මේගන් යුවල බි‍්‍රතාන්‍ය රජ පවුලෙන් ඉවත් වන බව දැනුම් දෙමින් ඉකුත් 9 වැනිදා ප්‍රකාශ කළහ.

ඒ අනුව බි‍්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින රජ පවුලේ ජ්‍යෙෂ්ඨයන්ගේ සහභාගීත්වයෙන් හදිසි රැස්වීමක් කැඳවූවාය. ඊට හැරී කුමරුන්ගේ පියා වන චාල්ස් කුමරු සහ හැරී කුමරුගේ සොහොයුරා වන විලියම් කුමරු ද සහභාගී විය.

එම සිදුවීම් දාමයත් සමඟ සිය මිත්තණිය වන බි‍්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින සමඟ සමථයකට පැමිණීමට හැරී සහ මේගන් යුවලට සිදුවිය. හැරී සහ මේගන් යුවල බි‍්‍රතාන්‍ය රජ පවුලෙන් ඉවත්වීම ‘ඓතිහාසික වෙන්වීමක්’ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

හැරී-මේගන් යුවලට මාස 8 ක පුතෙක් ද සිටී. ඔහු ආර්චී මවුන්ට්බැට්න්ය. බි‍්‍රතාන්‍ය රජ කිරුළට උරුමකම් කියන 6 වැනියා හැරී කුමරුන් ය.

“හැරී, මේගන් සහ ආර්චීට සෑම විටම පවුලේ ආදාරය හිමිවෙනවා. අපි සැවොම හැමදාමත් ඔවුන්ට ආදරෙයි” යැයි දෙවැනි එළිසබෙත් රැජින යුවලගේ තීරණයට ඉඩ හා අවසරය දෙමින් පැවැසුවාය.

එළිසබෙත් රැජින මේ සම්බන්ධයෙන් නිවේදනයක් ද නිකුත් කළාය.

“ඔවුන් පසුගිය අවුරුදු දෙකේදී මුහුණ දුන් අභියෝග සහ දුෂ්කරතා මා හඳුනාගත්තා. ඒ නිසා පෞද්ගලික හා ස්වාධීන ජීවිතයක් ගෙවීමට ඔවුන් ගත් තීරණයට මා සහාය දෙනවා” යැයි මහ රැජින නිකුත් කළ එම නිවේදනයේ දැක්විණි.

කෙසේ නමුත් බිරිඳ සහ පුතු සමඟ ‘නිදහස් ජීවිතයක්’ ගත කිරීමට රාජකීය භූමිකාව අත්හැරීම හැර වෙනත් විකල්පයක් නැතැයි ද හැරී කුමරු පැවැසීය. හැරී කුමරුගේ බිරිඳ මේගන් මාකෙල් ඇමෙරිකාවේ හිටපු නිළියකි.

“මේ වෙච්ච දේ ගැන මට හරි දුකයි. අපි දිගටම රැජිනට සේවය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලයට මෙන්ම මගේ හමුදා සේවය  අඛණ්ඩව කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒත් ඒ සඳහා මිනිස්සුන්ගේ බදු සල්ලි ගන්නේ නැහැ. කියන්න කනගාටුයි, ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි” හැරී කුමරු කීවේය.

“මම මේ දෙය බාරගත්තේ සියල්ල දැනගෙන. රජ පවුලෙන් ඉවත් වුණා කියලා කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. මං වෙනස් වෙන්නේ නැහැ. මං කරපු කැපවීම්, කැප කිරීම් ඉටු කරපු වගකීම් සියල්ල දිගටම ඉටු කරනවා. මං ඉදිරි පියවර ගණනාවක් තැබුවා. එහෙත් නිදහස් සාමකාමී ජීවිතයක් වෙනුවෙන් අඩියක් පස්සට ගන්න වෙනවා” යැයි ඔහු තවදුරටත් කීවේය.

බකිංහැම් මාලිගයේ නිවේදනය අනුව හැරීට තවදුරටත් ‘රාජකීය කුමරු’ පදවිය භාවිත කළ හැකි අතර යුවලට සසෙක්ස්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය යන ගෞරව නාම ද භාවිත කළ හැකිය.

රොයිටර්ස්   

RECOMMEND POSTS