ත්‍රාසය පිරි ඛේදාන්තයක්: ජෝකර්



ලොකු කුඩා කවුරුත් ආදරයෙන් වැලඳගත් සුපිරි වීරයකු වන්නේ බැට්මෑන්ය. බැට්මෑන් ‘ඩී.සී.’ චිත්‍රකතා චරිතයකි. බැට්මෑන්, සුපිරි වීරයකු වන්නේ ඔහුට අභියෝගයක් වීමට සුපිරි දුෂ්‍ටයකු සිටින නිසාය. මේ සුපිරි දුෂ්ටයා ‘​ජෝකර්’ ය.

ජෝකර් යනු කවටයකුගේ පෙනුම ගත් උම්මත්තයකි. සිත්පිත් නැති ඝාතකයෙකි. අපරාධ ලොවේ රජ්ජුරුවෝය. බැට් මෑන්ගේ නගරය ගොතම් වන අතර, ගොතම් නගරය සිය ආධිපත්‍යය යටතට ගැනීමට ජෝකර් උත්සාහ ගනී.

බැට්මෑන් චිත්‍රපට හරහාත් කාටූන් කතා සහ රූපවාහිනී මාලා නාටක හරහාත් ජෝකර්ගේ චරිතය අපට දකින්න ලැබී තිබේ. හොලිවුඩයේ ප්‍රවීණ මෙන්ම සම්මානනීය නළු ජැක් නිකල්සන්, ජෙරල්ඩ් ලෙටෝ, හීත් ලෙජර් බැට්මෑන් චිත්‍රපටවල ජෝකර්ගේ චරිතයට පණ පොවා ඇත.

හීත් ලෙජර් ජෝකර්ගේ චරිතයට පණ පෙව්වේ ක්‍රිස්ටෝපර් නෝලන්ගේ බැට්මෑන් චිත්‍රපට ත්‍රිත්වයේ දෙවැනි චිත්‍රපටය වන ‘ද ඩාර්ක් නයිට්’ සඳහාය. ජෝකර්ගේ චිතයට පණ පෙවීම හීත් ලෙජර්ගේ ජීවිතයේ අවසන් රංගනය විය. ජෝකර්ගේ උම්මත්තක චරිතය තාත්වික රංගනයකින් ඉදිරිපත් කිරීමට කැපවී කටයුතු කරද්දී ඇතිවුණු මානසික පීඩනයෙන් ලෙජර් මියගියේය. කෙසේ නමුත් ඩාර්ක් වයිට් චිත්‍රපටයේ ජෝකර් චරිතය පණ පෙවීම වෙනුවෙන් හීත් ලෙජර් සම්මානයට ද පාත්‍ර විය.

නවතම ​‘ජෝකර්’ චිත්‍රපටය අද (4) සිට ලොව පුරා තිරගත වෙයි. මෙම චිත්‍රපටයට පාදක වන ජෝකර් ආතර් ෆ්ලෙක් නමැත්තාය. මේ ජෝකර් බැට්මෑන්ගේ පරම සතුරා වන ‘ජෝකර්’ වුවත්, මෙම නවතම චිත්‍රපටයේ බැට්මෑන් නැත. කෙසේ නමුත් බැට්මෑන් බවට පත් වී සුපිරි වීරකම් කරන බෲස් වේන් ඔහුගේ මාපියන් සහ හිතවත් බට්ලර්වරයා ඇල්ෆ්‍රඩ් ද චිත්‍රපටයේ දකින්න ලැබේ.

ගොතම් නගරයේ ජෝකර් යනු කවුරු ද සහ ඔහුගේ ශෝඛාන්තයක් වූ ජීවිත කතාව චිත්‍රපටයට පාදක වෙයි. චිත්‍රපටය පාදක වන්නේ ද 80 දශකයේ සිදුවීම් පෙළකි. නවතම චිත්‍රපටයේ ජෝකර් ජීවිතයේ දුක් ගැහැටවලින් හෙම්බවත් වී, කවටයකු වීමට ගොස් එය ද අසාර්ථක වී කෙමෙන් කෙමෙන් මනස විකෘති වන ආතර් ෆ්ලෙක් ජතතා පිබිඳීමක් ද ඇති කරමින්, ගොතම් නගරයේ ‘අපරාධ රජු’ වන අයුරුය.

මෙය සුපිරි වීරයකුගේ හෝ සුපිරි දුෂ්ටයකුගේ චිත්‍රපටයක් නොවන බවත්, මනෝභාවයන් පිළිබිඹු කරන චිත්‍රපටයක් බවත් අධ්‍යක්ෂ ටොඩ් පිලිප්ස් පවසා ඇත. චිත්‍රපටයේ ජෝකර් හෙවත් ආතර් ෆ්ලෙක්ගේ චරිතයට පණ පොවන්නේ යකුවාන් ෆීනික්ස්ය.

‘ජෝකර්’ චිත්‍රපටය විදෙස් සම්මාන උලෙළ කීපයක ද තිරගත විය. ඒ, ලොව පුරා තිරගත වීමට පෙරය. ෆීනික්ස්ගේ රංගනය සිනමා විචාරකයන්ගේ පැසැසුමට පාත්‍ර වී ඇත. ඔස්කාර් සිනමා සම්මාන උලෙළ සඳහා ද ‘ජෝකර්’ චිත්‍රපටය නිර්දේශ වනු ඇතැයි පැවැසෙයි. ඊට අමතරව ප්‍රවීණ මෙන්ම සම්මානනීය නළු රොබට් ඩි නීරෝ, සාසි බීට්ස්, බ්‍රෙට් කලන්, ෆ්‍රැන්සෙස් කොන්රෝයි ‘ජෝකර්’ චිත්‍රපටයට එක් වී සිටිති.

ලුසිත ජයමාන්න


RECOMMEND POSTS