ජැක් මා කෝ ?



‘ජැක් මා අතුරුදන්.’ පසුගිය දිනවල විදෙස් පුවත් සේවා ඔස්සේ අපට අසන්න ලැබුණු ප්‍රධාන පුවත්වලින් එකක් වූයේ එයයි.

ජැක් මා විදෙස් මාධ්‍ය කැලඹුවේ ඇයි? ජැක් මා චීන ජාතිකයෙකි. කෝටිපති ව්‍යාපාරිකයෙකි. ජැක් මා ගේ සාර්ථකත්වය පසුපස සිටින්නේ, ‘අලිබාබා’ය. ‘අලිබාබා’ කී සැණින් සිහියට නැගෙන්නේ, අරාබි නිසොල්ලාසයයි. ‘අලිබාබා’ සහ හොරු 40 එහි එන කතාවකි. 

අලිබාබා දුප්පතෙකි. දුප්පත් වුවත් ඔහු හිත හොඳ අවංක කෙනෙකි. ඔහුට වාසනාව උදා වී ධනවතකු වන්නේ, හොරු 40 ඔවුන්ගේ මහා වස්තු සම්භාරය සැඟවූ ගල් ලෙනට යෑමට හැකියාව ලැබීමත් සමඟය. සාර්ථක ව්‍යාපාරිකයකු ලෙස ජැක් මාගේ නැගී සිටීම සිදුවූයේත් ‘අලිබාබා’ මෙනි. ජැක් මාගේ සම දායකත්වයෙන් පිහිටවූ ‘අලිබාබා’ වෙබ් සේවාවකි. අන්තර් ජාලය හරහා භාණ්ඩ විකිණීමේ පුරෝගාමියා ලෙස ‘අලිබාබා’ සැලකිය හැකිය.

අදවනවිට ‘අලිබාබා’ සමූහ ව්‍යාපාරයකි. විවෘත ආර්ථික පදනම් වූ වෙළෙඳක් බිහි කිරීමෙහිලා පුරෝගාමී වූ චරිතයක් ලෙස සැලකෙන්නේ ජැක් මා ය. චීන වෙළෙඳපොළේ නිල නොවන මට්ටමින් ‘සන්නාම තානාපති’ ලෙස ද ජැක් මා සැලකෙයි. චීන වෙළෙඳපොළ ලෝකයට පමණක් නොව, නිවෙස්වලට රැගෙන ගියේ ජැක් මා කීවොත් නිවැරදිය. සුප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන ‘ෆෝබ්ස්’ සඟරාවට අනුව, චීනයේ දෙවැනි ධනවතා ජැක් මා වන අතර ලෝකයේ ධනවතුන් අතරින් ජැක් මා සිටින්නේ 21 වැනි ස්ථානයේය. ලොව බලගතු පුද්ගලයන්ගේ ලැයිස්තුවේ 21 වැනියා ජැක් මා ය. තනිවම ව්‍යාපාරයක් ආරම්භ කරන ඕනෑම අයකුගේ පූර්වාදර්ශය ජැක් මා ය. චීනයේත්, අප්‍රිකාවේත්, ආසියාවේත් මැදපෙරදිග කලාපයේත් රටවල් බොහොමයක යටිතල පහසුකම් නංවාලමින්, දිළිදු වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමටත්, තනිවම නැගී සිටින ආධුනික ව්‍යාපාරිකයන්ට අතහිතදීම ‘අලිබාබා’ සමූහ ව්‍යාපාරය විසින් සිදු කරනු ලබයි. අද වනවිට අලිබාබා සමූහයේ විධායක අධ්‍යක්ෂවරයා ඩැනියෙල් සෙන් වන අතර, ජැක් මා වගකීම් බොහොමයකින් ඉවත් වී නිදහස් ජීවිතයක් ගත කරයි.

ජැක් මා අතුරුදන් යැයි පැවැසුණේ පසුගිය 4 වැනිදාය. 56 හැවිරිදි තිදරු පියකු ද වන ජැක් මා, මාස දෙකක් තිස්සේ අතුරුදන් යැයි විදෙස් පුවත් සේවා වාර්තා කළේය. ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කළේ ජැක් මා චීනයේ බලපෑමට ලක් වී, නිහඬව සැඟවී සිටින බවය. ජැක් මා අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ, පසුගිය ඔක්තෝබර් ෂැංග්හායි නුවර පැවැති වෙළෙඳ සම්මන්ත්‍රණයකට එක් වූ අවස්ථාවේදීය.

ජැක් මා චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් පෙනී සිටින අයකු වුවත්, එම සම්මන්ත්‍රණය ඇමැතූ අවස්ථාවේදී, ජැක් මා චීන රජය දැඩි ලෙස විවේචනය කළේය. එය චීන රජයේ අප්‍රසාදයට හේතුවක් වුණු අතර ජැක් මා චීන රජයේ උදහසට ලක් වීම රහසක් නොවෙයි. චීන රජයේ නියාමන ක්‍රමවේදයන් හේතුවෙන් නවෝත්පාදනය ට මං අවහිර වී ඇතැයි එම සම්මන්ත්‍රණයේ දී ජැක් මා පෙන්වා දුන්නේය. හොංකොං වැසියන්ට චීනයෙන් එල්ල වන කෙණහිලිකම් සම්බන්ධයෙන් ද ජැක් මා ප්‍රසිද්ධියේ චීන රජයට විරෝධය දැක්වීය. වසර 99 ක් මහා බි්‍රතාන්‍යය හොංකොං පාලන ප්‍රදේශය බද්දට ගෙන තිබුණු අතර, එම බද්දෙන් හොංකොං නිදහස් වෙද්දී යළි චීනයට පවරා දීමක් සිදුවිය. අද හොංකොං පාලන ප්‍රදේශය වෙනුවෙන් වෙනම පාලනයක් ඇති නමුත්, හොංකොං පාලනය කරන විශේෂ පාලක මණ්ඩලයේ සිටින්නේ චීන හිතනාදීන්ය. හොංකොං හි පාලිකාව චීන හිතවාදී කැරී ලෑම්ය.

‘ජැක් මා ව්‍යාපාරිකයෙක්. දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඔහුට දේශපාලනය වැඩක් නැහැ. හොංකොං වැසියන්ට චීනයෙන් එල්ල වන බලපෑම සහ කෙණෙහිලිකම් ගැන ඔහු දන්නවා. එය ව්‍යාපාරවලට බාධාවක්. කකුළෙන් ඇදීමක්. ජැක් මා හොංකොං වෙනුවෙන් අදහස් දැක්වීමක් කළේ ඒ නිසයි. චීන රජයෙන් ඔහුට තර්ජන එල්ල වන්න ඇති. පැත්තකට වෙලා ඉන්න කියන්න ඇති. ඔහු නිහඬ වෙන්න ඇත්තේ ඒ නිසයි. ඔහුගේ ජීවිතයට අනතුරක් වුණා යැයි බොහෝ අය බිය පළ කරනවා. ඒත් ඒක එහෙම වෙන්න බැහැ. ඔහු නිහඬවට සැඟවී සිටිනවා ඇති.’ යැයි හොංකොං මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් සී.එන්.එන්. පුවත් සේවයට අදහස් දක්මින් පවසා ඇත.

සී.එන්.එන්. ඇසුරිනි


RECOMMEND POSTS