ජනතාව කුපිත නොකර කටපියාගෙන ඉන්න



පොලිස් සහ හමුදා බලය පාවිච්චි කරමින්, විරෝධතාකරුවන් මර්දනය කරන්නැයි ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකන් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දුන් අවස්ථාවේදී, ඒ ගැන අප්‍රසාදය පළ කරන ටෙක්සාස් ජනපද පොලිස්පති ආට් ඒස්වේඩෝ ජනපති ට්‍රම්ප්ට පැවැසුවේ ජනතාව කුපිත නොකර කටපියා ගන්නා ලෙසය.

ටෙක්සාස් ජනපද පොලිස්පති ආට් ඒස්වේඩෝ මෙසේ කියා සිටියේ සී.එන්.එන්. පුවත් සේවයේ මාධ්‍යවේදිනියක වන ක්‍රිස්ටිනා ඇමනපෝර්ගේ පැනයකට පිළිතුරු දෙමිනි.

ජනපද ආණ්ඩුකාරවරුන් දුර්වල, කොන්ද පණ නැති පිරිසක් බව පවසමින්, උපරිම බලය භාවිත කරමින් විරෝධතාකරුවන් යටපත් කරන්නැයි ජනපති ට්‍රම්ප් ජනපද ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දුන්නේය. ක්‍රිස්ටිනා ඇමනපෝර්, ටෙක්සාස් පොලිස්පතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් අදහස් විමසීමක් කළාය.

‘සියලුම පොලිස් නිලධාරින් වෙනුවෙන් මා ජනපති ට්‍රම්ප්ට කියනවා ජනතාව කුපිත කරන්න එපා. කට පියාගෙන ඉන්න. අනව්‍ය ප්‍රකාශ නිසා පොලිස් නිලධාරීන්ගේ ජීවිත පමණක් නොව තරුණ ජීවිත ද අනතුරේ වැටෙනවා. මේ වෙලාවේ කළ යුත්තේ බලය පෙන්වීම නොවෙයි. හැඟීම්බරව කටයුතු කිරීමයි’ යැයි පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.

මේ අතර, ඉහළින් ලැබෙන උපදෙස් අනුව, බොහෝ පොලිස් නිලධාරීන් විරෝධතාකරුවන් සමඟ ගැටෙද්දී, ටෙක්සාස්, නිව්යෝක් සහ ෆ්ලොරීඩා ජනපදවල පොලිස් නිලධාරීන් විරෝධතාකරුවන්ට සහාය දක්වන බවත්, විරෝධතාකරුවන් ඉසිරියට ගොස් දණ නමා ජෝජ් ෆ්ලොයිඞ් ඝාතනය හෙලා දැකීමට කටයුතු කරන බවත් වාර්තා වේ.

ටෙක්සාස්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS