කොරෝනා බෝ කළැයි චෝදනා



ජනප්‍රිය ඉන්දීය ගායිකා කනිකා කපූර් තමන්ට ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය බෝ කළැයි රාජස්ථානයේ හිටපු මහ ඇමැතිනී වසුන්දරා රාජේ පොලිසියට පැමිණිලි කර ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.

41 හැවිරිදි කනිකා කපූර්, එක්සත් රාජධානියේ සංචාරයක් අවසන් කර ආපසු ඉන්දියාවට පැමිණි අවස්ථාවේදී රෝගී වූ බවත්, සිදු කළ පරීක්ෂණවලින් පසු ඇයට ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවත් පැවැසෙයි.

තමනක් ‘කෝවිඞ් 19’ ආසාදිතයකු බවත්, වෛද්‍ය උපදෙස් මත රෝහල්ගත වුණු බවත් කනිකා සිය සමාජ ජාල ගිණුම් ඔස්සේ ද සටහන් පළ කර තිබුණි.

කනිකා ඉන්දියාවට පැමිණ රෝගී වීමට පෙර, රාජස්ථානයේ හිටපු මහ ඇමැතිනී වසුන්දරා රාජේ හමුවී ඇය සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට එක් වී ඇත. කනිකා රෝගී වී දින කිහිපයක් යද්දී, හිටපු මහ ඇමැතිනිය ද රෝගී වී ඇති අතර ඇය කෝවිඞ් ආසාදිතයකු බව තහවුරු වී තිබේ.

කනිකාගේ නොසැලකිල්ල නිසා තමන්ට රෝගය බෝ වුණැයි යන චෝදනාව මත හිටපු මහ ඇමැතිනී වසුන්දරා රාජේ පොලිසියට පැමිණිලි කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

‘කෝවිඞ් 19’ ආසාදිතයකු බව තහවුරුවීමෙන් පසු බොලිවුඞ් ගායිකා කනිකා කපූර් ඇතුළත් කර ඇත්තේ ලක්නව් නුවර රෝහලකටය. ගායිකාව රෝහලේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් සමඟ බහින්බස් වෙන බවත්, රෝහල ලබා දෙන කෑම සම්බන්ධයෙන් පැමිණිලි කරමින් කලහකාරී ලෙස හැසිරෙන බවත් වාර්තා වේ.

‘ඔයා බොලිවුඞ් සුපිරි තාරකාවක්. ඔයා ඒ විදියට හැරෙන්න’ යැයි ලක්නව් රෝහලේ ප්‍රධානී වෛද්‍ය සන්ජේ ගාන්ධි, කනිකා හමුවී ඇයට පැහැදිලි කර දී ඇතැයි ද ඉන්දීය පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කර ඇත.

(ඉන්දීය පුවත් සේවා ඇසුරිනි)


RECOMMEND POSTS