ආන්දෝලනාත්මක 800



මෙරටින් බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව පාදක කර ගනිමින් නිර්මාණය නිපදවන ‘800’ චිත්‍රපටය පසුගිය දින කීපය පුරාවට බොහෝ දෙනකුගේ කතාබහට ලක් විය.

චිත්‍රපටයේ මුරලිදරන්ගේ චරිතය සඳහා තෝරා ගැණුනේ දකුණු ඉන්දියානු සුපිරි නළුවෙකු වන විජේයි සේතුපතිය‍. ‘සුපර් ඩිලක්ස්’, ‘96’, ‘වික්‍රම්වේදා’ ආදී චිත්‍රපට හරහා විජේයි සේතුපති ඉන්දීය සිනමාලේලීන්ගේ අතරේ පමණක් නොව, ලාංකික සිනමාලෝලීන් අතරේ ද ජනප්‍රියය. මුරලිදරන් ටෙස්ට් කඩුලු 800 ක් ලබා ගැනීමේ වාර්තාව සිහිගන්වමින්, චිත්‍රපටය ‘800’ ලෙස නම් කෙරුණු අතර, මුරලිදරන්ගේ චරිතයට පණ පොවන්නේ විජේයි සේතුපති යන පුවත ප්‍රසිද්ධ වෙද්දී බොහෝ දෙනා ඒ ගැන සතුටට පත් වූහ. සචින් තෙන්දුල්කාර්, මහේන්ද්‍රසිං දෝනී ආදී සුපිරි ක්‍රිකට් තරු පාදක කර ගනිමින්, ඔවුන්ගේ චරිත ඇසුරින් සිනමා නිර්මාණ බිහිවුවත්, ලෝක පූජිත ශ්‍රී ලාංකික ක්‍රිකට් තරුවක් පාදක කරගත් පළමු චිත්‍රපටය මෙය නොවේදැයි බොහෝ දෙනාගේ සතුටට හේතුවක් විය.

කුඩා කාලයේ වේග පන්දු යවන්නකු වූ මුරලි, පසුව ඔහුගේ සැබෑ දක්ෂතා හඳුනා ගනිමින්, දඟ පන්දු යවන්නකු වශයෙන් දස්කම් පෙන්වන්න වූ අයුරුත්, 30 වසරක කුරිරු යුද්ධයෙන් එල්ල වුණු බලපෑම්,  1992 වසරේ දී ටෙස්ට් වරම් ලැබීම, ඕස්ට්‍රේලියානු විනිසුරු ඩැරල් හෙයාර්ගෙන් එල්ල වුණු කෙණෙහිලිකම්, 2009 මාර්තු මාසයේ පාකිස්තානයේ ලාහෝර් නුවර සංචාරය අතරතුරේ එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය, විවාහ ජීවිතය සහ අවසානයේ ටෙස්ට් කඩුලු 800 ක් ලබා ගනිමින්, ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීම ආදී මුරලිගේ ජීවිතයේ කැපී පෙනෙන සිදුවීම් සමුදායක් චිත්‍රපටයට ඇතුළත් කිරීමට නියමිතව තිබුණි.

චිත‍්‍රපටය දෙමළ භාෂාවෙන් එළිදැක්වීමටත්, ඊට ඉංග‍්‍රීසි උපසිරැසි එක් කිරීමටත් නියමිත විය. තෙළිඟු, මලයාලම්, හින්දි, බෙංගාලි සහ සිංහල භාෂාවලින්ද පරිවර්තනය කිරීමට කටයුතු සූදානම් විය. ලබන වසරේ එනම්, 2021 වසරේ ජනවාරි මාසයේ සිට රූගත කිරීම් ආරම්භ කිරීමට ද සැලැසුම් සකස් කෙරුණි. රූගත කිරීම්, ඉන්දියාව, ශ‍්‍රී ලංකාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවේදී සිදුකිරීමට ද තීරණය කෙරුණි.

සියල්ල එසේ සිදුවෙද්දී, අවාසනාවකට, තමිල්නාඩු දේශපාලනඥයන්ගේ උසි ගැන්වීම් හමුවේ, ‘800’ චිත්‍රපටයට දැඩි විරෝධයක් එල්ල විය. මුත්තයියා මුරලිදරන් නමැති ඒ අසහාය ක්‍රීඩකයාට අපහාස එල්ල වීමට පටන් ගත්තේය. චෝදනා එල්ල වීමට පටන් ගත්තේය. තමිල්නාඩු වැසියන් පමණක් නොව, තමිල්නාඩුවේ කලාකරුවන්ගෙන් ද ‘800’ චිත්‍රපටයට විරෝධයක් එල්ල වීමට පටන් ගත්තේය. මුරලිදරන්, ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්ට සහය දක්වන අයෙකු බවටත් ඔහුට ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිය පිළිබඳ කිසිදු හැඟීමක් නොමැති බවටත් දකුණු ඉන්දියානු කලාකරුවෝ චෝදනා නගන්න වූහ.

තමා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වූයේ බාධක රැසක් මැද බවත්, ක්‍රීඩාව තුළ මෙන්ම පෞද්ගලික ජීවිතය තුළ ද බාධකවලට එක ලෙස මුහුණ දීමට තමහන්ට සිදුවුණු බවත් එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින් මුරලි පැවැසුවේය. තම චරිතය පාදක කර ගනිමින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සූදානම් වන බව තමන්ට පැවැසූ අවස්ථාවේදී, තමන් පළමුවෙන් ඊට අකමැති වුණු නමුත්, පසුව ඊට කැමැති වූයේ,  මුරලිදරන් නමැති පුද්ගලයා බිහිකළ ලෝක වාර්තා ඔහුට පමණක් අයත් නොවන නිසා බවත් මුරලි පැහැදිලි කළේය. තමන් දක්ෂ ක්‍රිකට් තරුවක් බවට පත් වූයේ තම මවුපියන්, ගුරුවරුන්, පුහුණුකරුවන්ගේ මඟ පෙන්වීම සහ ආශිර්වාදය යටතේ බවත්, ඔවුන්ට වැඩි අගයක් චිත්‍රපටය හරහා ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කළ බැවින් චිත්‍රපටයට කැමැත්ත දුන් බවත් මුරලි පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ තේ වතු අශ්‍රිතව කුලී රැකියා කළ පුද්ගලයින් ලෙස තම පවුලේ සාමාජිකයින් ජීවන ගමන ආරම්භ කළ බවත්, වසර 30 කට වැඩි කාලයක් පැවති යුද්ධයෙන් පළමුව පීඩාවට පත් වුණේ ඉන්දියානු සංක්‍රමණිකයින් වන වතු කම්කරු දෙමළ ජනතාව බවත් මුරලිදරන් අවධාරණය කළේය.

පෙනුමින් යම්තාක් දුරකට මුරලිට සමාන බැවින්, විජේයි සේතුපති, මුරලි ලෙස රංගනයට තෝරා ගැණුනු අවස්ථාවේදී, සේතුපති ඒ සම්බන්ධයෙන් බෙහෙවින් සතුටට පත් විය. ‘අප කවුරුත් මුරලි හඳුනන්නේ දක්ෂ පන්දු යවන්නකු විදියට. ඒත් ඒ, ආකර්ශණීය චරිතය පසුපස ලොකු කතාන්දරයක් තිබෙනවා. ඔහු සුන්දර නිහතමානී කෙනෙක්. ඔහුගේ කතාන්දරය කියන්න මට අවස්ථාවක් ලැබීම සතුටක්’ යැයි විජේයි සේතුපති පැවැසුවේය. චිත්‍රපටය අධ්‍යක්ෂණයට තෝරා ගැණුනේ ජනප්‍රිය අධ්‍යක්ෂවරයකු වන භරත්රාජාය. මුරලිගේ බිරිඳ ලෙස රංගන ශිල්පිණී රාජීෂා විජයන් තෝරා ගැණුනි. තමිල්නාඩු දේශපාලනඥයන්ගේ උසි ගැන්වීමෙන් මොවුන් තිදෙනාට දිගට හරහට දොස් අහන්න සිදුවිය. විජෙයි සේතුපතිට ඔහුගේ ආදරණීය රසික රසිකාවියන්ගෙන් දිගින් දිගටම චෝදනා එල්ල වූයේ ඔහු දමිල වැසියන්ට ද්‍රෝහියකු වූ බවටය.

දිගට හරහට විවේචන එල්ල වෙද්දී, ‘800’ චිත්‍රපටයේ තම චරිතය රඟපෑමෙන් ඉවත්වන්නැයි මුරලිදරන්, සේදුපතිගෙන් ඉල්ලීමක් කළේය. ඒ, ට්විටර් පණිවුඩයකිනි. ‘800’ චිත්‍රපටයට සම්බන්ධ වීමෙන්, දක්ෂ කලාකරුවකු වන සේදුපතිගේ අනාගතය විනාශ වෙනවා දැකීම තම අභිප්‍රාය නොවන බව මුරලිදරන්ගේ ට්විටර් පණිවුඩයේ සඳහන් විය. සේදුපති ද ඊට ප්‍රතිචාර දක්වමින් ‘ස්තුතියි ආයුබෝවන්’ යනුවෙන් පිළිතුරක් සටහන් කළේය. ඒ අනුව තමන් තවදුරටත් ‘800’ චිත්‍රපටයට සම්බන්ධ නොවන බව විජය සේදුපති අවධාරණය කළේය. කෙසේ නමුත් සේදුපති ඉවත්වීම සැලකිල්ලට ගනිමින් ‘800’ චිත්‍රපටය නිර්මාණය අතහැර නොදමන බවත්, ඉදිරියේ දී වෙනස් ආකාරයකින් චිත්‍රපටයේ කටයුතු ආරම්භ කරන බවත් එහි නිෂ්පාදකවරුන් පවසා ඇත.

ඉන්දීය පුවත් සේවා ඇසුරිනි


RECOMMEND POSTS