අන්තර් ජාලය හරහා බොලිවුඩයට



23 හැවිරිදි ඉන්දීය තරුණියක 2016 වසරේ යූ ටියුබ් හරහා කාගේත් අවධානය දිනා ගත්තාය. ඇය මිතිලා පෝල්කර්ය. ඇය කාගේත් අවධානය දිනාගත්තේ ඇගේ ම කියා වීඩියෝ දසුන් පෙළක් අන්තර් ජාලයට එක් කරමිනි

යූ ටියුබ් හරහා පමණක් නොව සෙසු සමාජ මාධ්‍ය ඔස්සේ මේ වීඩියෝ ජනප්‍රිය විය. මිතිලා පෝල්කාර් මේසයක් ඉදිරියේ අසුන් ගෙන සිටී. ඇගේ අතේ ඇත්තේ ප්ලාස්ටික් කෝප්පයකි. ඇය මරාති බසින් ගීතයක් ගායනා කරයි.  සංගීතය සැපයෙන්නේ අතේ ඇති කෝප්පට මේසයට තට්ටු කරමිනි. මිතිලාගේ මෙම ගායන වීඩියෝ ඉතා සරල කෙටි ඒවාය. ඒත් ඒවා ජනප්‍රිය විය. අද මිතිලා පෝල්කාර් බොලිවුඞ් තරුවකි. විචාරකයන්ගේ පැසැසුමට පවා ලක් වුණු තරුවකි.

‘අන්තර්ජාලය මගේ නිවහනයි. මගේ ආරම්භයයි. මට අනන්‍යතාවක් ලබා දුන් තැනයි. බොලිවුඩය මාව හඳුනාගත්තේ අන්තර්ජාලයෙන්. කවුරුත් මාව හඳුනන්නේ අන්තර්ජාලය නිසයි.’ ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සාර්ථකත්වය කරා ආ තම ගමන් මඟ මිතිලා විස්තර කළාය. ප්ලාස්ටික් කෝප්පයෙන් සංගීතය සපයමින්, මිතිලා ගයන ‘හායි චාල් තුරු තුරු’ ගීතය ඇතුළත් වීඩියෝ දසුන්, දේශපාලනයට පිවිස සිටින බොලිවුඞ් තරුවක වන පරේෂ් රාවල්, බොලිවුඞ් අධ්‍යක්ෂකවරයකු වන ඉම්තියාස් අලී පමණක් නොව බොලිවුඞ් ගීත රචකයකු මෙන් ම ගායකයකු ද වන ස්වනාන්ද් කර්ක්රීගේ අවධානයට ලක් විය. ඔවුන්ගේ ප්‍රශංසා සමාජ මාධ්‍ය හරහා මිතිලාට ලැබුණි. අද 27 හැවිරිදි මිතිලාගේ ජීවිතය උඩු යටිකුරු වී ඇත්තේ එලෙසය.

‘මීට අවුරුදු 10කට කලින් වගේ නොවෙයි, තමන්ට හැකියාවක් තිබෙනවා නම්, එය ලොවට කීමට ඇති පහසු ම ක්‍රමය අන්තර් ජාලයයි. මා මගේ හැකියාව අන්තර් ජාලයෙන් ඉන්දියාවට පෙන්නුවා. ලොවට පෙන්නුවා.’ යැයි මිතිලා ආඩම්බරයෙන් පවසයි. මිතිලා, වීඩියෝ දසුන් අන්තර් ජාලයට එක් කිරීම ආරම්භ කළේ 2014 සිට වුවත්, ඇය කෙරෙහි නිසි අවසානය යොමු වූයේ 2016 දීය. ඒ වසර දෙකක් තිස්සේ ඇය ඇගේ උත්සාහය අත් නොහැරිය නිසාය. ‘බොලිවුඞ් නිළියක් වෙලා ජනප්‍රිය වෙන්න මගේ අදහසක් තිබුණේ නැහැ. මට පුළුවන් දේ මා කරලා පෙන්නුවා. මුලදී කවුරුත් මාව ගණන් ගත්තේ නැහැ. මගේ වීඩියෝ කවුරුත් බැලුවේ නැහැ. ඒත් 2016 වසරේ හිටිහැටියේ මට වාසනාව පෑදුණා. ඉම්තියාස් අලී, ස්වනාන්ද් කර්ක්රී මගේ වීඩියෝ ෂෙයාර් කරන්න ගත්තා. ඒක මට ලොකු ශක්තියක් මෙන් ම ධෛර්යයක් වුණා’ යැයි මිතිලා වැඩිදුරටත් කියා සිටී.

මිතිලා පෝල්කාර් උපන්නේ 1993 ජනවාරි 12 වැනිදා, ඉන්දියාවේ මුම්බායි නුවරදීය. ‘ගර්ල් ඉන්ද සිටී’ සහ නෙට්ෆ්ලික්ස් හරහා විකාශය වූ ‘ලිට්ල් තිංග්ස්’ යන රූපවාහිනී කතා මාලා ඔස්සේ මිතිලා ජනප්‍රිය වූවාය. මිතිලා ‘හනිමූන්’ නමැති මරාති බසින් නිර්මාණ කළ කෙටි චිත්‍රපටයට රංගනයෙන් එක්වූවාය. එය ඇගේ රංගන දිවියේ ඇරැඹුම විය. ඇගේ පළමු බොලිවුඞ් චිත්‍රපටය නිකිල් අද්වානීගේ ‘කටීබටී’ ය.

ඉන්දීය මාධ්‍ය වාර්තා ඇසුරිනි


RECOMMEND POSTS