‘බැට්මෑන්ට’ අවුරුදු 80 ක්



‘බැට්මෑන්’ ඇමෙරිකන් කොමික්ස් එසේ නැතිනම් චිත්‍රකතා වීරයකු පමණක් නොව, හොලිවුඩය හරහා ද අතිශය ජනප්‍රිය වූ ලොව කාගේත් ආදරය දිනූ සුපිරි වීරයෙකි.

‘බැට්මෑන්’ චරිතය ඇමෙරිකාවේ ‘ඩී.සී.’ කොමික්ස් සමාගමේ නිර්මාණයකි. සුපර්මෑන්, වොන්ඩර් වුමන්, ෆ්ලෑෂ්, ඇක්වාමෑන් යන වීරයන් ද අයත් වන්නේ ‘ඩී.සී.’ සමාගමටය. බැට්මෑන් චිත්‍රපට රැසකි. ඉදිරියේදී තවත් චිත්‍රපට රැසක් ද නිර්මාණය වීමට නියමිතය.

බැට්මෑන් යනු සුපිරි බලයක් නොමැති වීරයෙකි. සුපිරි බලයක් නොමැති වුවත් බැට්මෑන්ට සුපිරි වාහන, ගුවන් යානා සහ වෙනත් උපාංග රැසකි.

හොඳින් මනස දියුණු කළ අයකු වන බැට්මෑන් ආත්මාරක්ෂක සටන් ප්‍රගුණ කළ අයෙකි. බැට්මෑන් ලෙස වීරයකු වන්නේ කෝටිපති ව්‍යාපාරික බෲස් වේන් ය.

බැට්මෑන් සහ බෲස් වේන්ගේ චරිත නිර්මාණය කළේ බොබ් කේන් සහ බිල් ෆින්ජර් යන දෙදෙනාය. ඒ, 1939 වසරේ නිකුත් ඩී.සී. සමාගමේ ‘ඩිටෙක්ටිව් කොමිස්ක්ස්’ චිත්‍රකතා පොත් පෙළ හරහාය.

බැට්මෑන්ගේ 80 වැනි උපන් දිනය නිමිත්තෙන් ඇමෙරිකාවේ නිව්යෝක් ඇතුළු ලොව පුරා රටවල් කිහිපයක විවිධ උත්සව පැවැත්විණි. මැරතන් තරග පැවැත්විණි.

ඒ සියල්ලටම බැට්මෑන් රසික රසිකාවියන් සහභාගී වූයේ බැට්මෑන් ලෙස සැරසීය. එසේත් නැතිනම් බැට්මෑන් චිත්‍රකතාවලට සම්බන්ධ වෙනත් චරිත ආකාරයට සැරැසීය.

ඊට අමතරව, ලොව ප්‍රධාන නගර රැසක ප්‍රසිද්ධ ගොඩනැගිලි බැට්මෑන්ගේ ‘බැට්’ සලකුණින් වර්ණවත් විය.

(බී.බී.සී. සහ ඩේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS