හැරී-මේගන් රජ මඟුල



මහා බ්‍රිතාන්‍යයේ වින්ස්ඩෝර් මාලිගය සහ ශාන්ත ජෝර්ජ් දේවස්ථානය කේන්ද්‍රකොට ගනිමින්, හැරී කුමරුන්ගේත් ඇමෙරිකා ටෙලි නිළි මේගන් මාකෙල්ගේත් රාජකීය විවාහ මංගල උත්සවය මහත් උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.

විවාහ මංගල උත්සවයේ කටයුතු ආරම්භ වූයේ බ්‍රිතාන්‍යයේ වේලාවෙන් උදේ 9 (ශ්‍රී ලංකාවේ වේලාවෙන් දහවල් 2 ට) ටය. 

ශාන්ත ජෝර්ජ් දෙව් මැදුර මල් වර්ගවලින් අලංකාර කර තිබුණි. එම මල් වර්ග පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවලින් ගෙනා ඒවා වීම සුවිශේෂී කරුණක් ලෙස සැළකෙයි.

දෙව් මදුරට පිවිසෙන දොරටුව සරසා තිබුණේ සුදු රෝස මල්වලිනි. හැරී කුමරුන්ගේ මව ඩයනා කුමරිය සුදු රෝස මල්වලට ප්‍රිය කළ තැනැත්තියකි.

ශාන්ත ජෝර්ජ් දෙව් මැදුරේ පැවැති විවාහ මංගල උත්සවයට ආරාධනා ලැබ අමුත්තෝ 600 කට ආසන්න පිරිසක් රැස්වූහ.

ඊට අමතරව, හැරී සහ මේගන් විසින් තෝරා ගත් බ්‍රිතාන්‍ය වැසියෝ රැසකට දෙව් මැදුර ඉදිරියේ රැඳී සිටීමට ද ඉඩ ලබා දී තිබුණි.

නළු නිළියෝ සුප්‍රකට පුද්ගලයෝ, ගායක ගායිකාවෝ, ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද දෙව් මැදුරට පැමිණි අමුත්තන් අතර සිටියහ.

පැමිණ අසුන් ගත් ආරාධිත අමුත්තන් අතර හොලිවුඞ් නළුවකු මෙන්ම අධ්‍යක්ෂවරයකු ද වන ජෝර්ජ් ක්ලූනි සහ බිරිඳ , අසහාය පා පන්දු ක්‍රීඩක ඬේවිඞ් බෙකම් සහ බිරිඳ වික්ටෝරියා, නළු ටොම් හාඩි,  ඉඞ්රිස් එල්බා, ප්‍රවීණ ගායක එල්ටන් ජෝන්, ඇමෙරිකා නිවේදිකා ඔපෙරා වින්ෆි සහ මේගන් මාකෙල් රංගනයෙන් දායක වුණු ‘සූට්ස්’ රූපවාහිනී කතා මාලාවට සම්බන්ධ නිර්මාණකරුවන් සහ නළි නිළියෝ සිටියහ.

එම පිරිස දෙව් මැදුරේ අසුන් ගැනීමෙන් පසු, බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයෝ පැමිණි අසුන් ගත්හ. ඒ දෙව් මැදුරේ දෙවැනි දොරටුවෙනි.

හැරී කුමරු පැමිණියේ සොහොයුරු විලියම් කුමරු සමඟය. විලියම් කුමරු හැරී කුමරුන්ගේ දෙවැනි මනමාලයා විය. දෙවැනි එලිසබත් මහ රැජින දෙව් මැදුරට පැමිණියේ වල්ලභයා පිල්ප් කුමරු සමඟය. විලියම් කුමරුන්ගේ බිරිය මෙන්ම කේම්බ්‍රිජ් ආදිපාදවරිය ද වන කේට් මිඞ්ලිටන් ද රාජකීයයන් අතර සිටියාය.

විලියම් සහ කේට්ගේ දරු දෙදෙනා ජෝර්ජ් සහ චාලට් මල් කුමර කුමරියන් අතර සිටි අතර, ඔවුන් දෙව් මැදුරට පැමිණියේ, මේගන්ගේ පැමිණීමත් සමඟය. මේගන් සමඟ පැමිණි මේගන්ගේ මව ඩොරියා රෙග්ලන්ඞ් මේගන්ට පෙර දෙව් මදුරට පිවිසුණාය. ඒ දෙවැනි ප්‍රධාන දොරටුවෙනි.

අමුත්තන් සහ සෙසු රාජකීයයන් ද දෙව් මැදුරට පිවිසියේ මෙම දොරටුවෙනි. හැරී සහ විලියම්ගේ පියා චාල්ස් කුමරු පැමිණියේ කැමලා පාකර් ආදිපාදවරිය සමඟය. කෝන්වෝල් ආදිපාදවරිය කැමිලා පාකර් අසුන් ගත්තේ කේම්බ්‍රිජ් ආදිපාදවරිය කේට් මිඞ්ල්ටන් අසලින්ය.

අලංකාර මෙන්ම ඉතා චාම් සුදු පැහැති මංගල ඇඳුමින් සැරැසුණු මේගන් මල් කුමරුන් දෙදෙනකු ද පිරිවරාගෙන දෙව් මැදුරට ඇතුළු වූයේ ප්‍රධාන දොරටුවෙනි. දෙව් මැදුර තුළට යද්දී, ජෝර්ජ් සහ චාලට් ද ඇතුළු සෙසු මල් කුමර කුමරියෝ ඇයට එක් වූහ. දෙව් මැදුරට පිවිසි ඇය අල්තාරය අසලට කැඳවා හැරී කුමරුන්ට බාර දීමට ඇගේ පියා තෝමස් මාකල් සිටියේ නැත.

මීට සති කිහිපයකට පෙර හෘදයා බාධයකට ලක් වුණු අවසන් මොහොතේ කියා සිටියේ තමන් දියණියගේ මංගල උත්සවයට සහභාගී නොවන බවය. මේගන්ගේ පියා තෝමස් සහ මව දික්කසාද වී ඇත්තේ මේගන්ට වයස අවුරුදු 6 දීය.

බොහෝ දෙනා පවසා තිබුණේ මේගන්, හැරී කුමරුන්ට බාර දීම ඇගේ මව විසින් සිදු කරනු ඇතැයි කියාය. එසේ වූවා නම් එය සම්ප්‍රදාය බිඳීමකි. මේගන් දෙව් මැදුරට කැන්දන් යමින්, හැරී කුමරුන්ට බාර දීම සිදු කළේ හැරී කුමරුන්ගේ පියා වේල්සයේ චාල්ස් කුමරුය. එය ඉතා හැඟීම්බර අවස්ථාවක් විය.

හැරීගේ මව වුණු ඩයනා කුමරියගේ පවුලේ සාමාජිකයන් සැවොම හැරීගේ ආරාධනාව පරිදි දෙව් මැදුරට පැමිණ සිටියහ. ඩයනා කුමරියගේ සොහොයුරිය, ජේන් ෆෙලෝස් ආර්යාව, විශේෂ ගුණ කථනයක් ද පැවැත්වූවාය. තම සොයුරිය ඩයනා කුමරිය ගැන ද ඇය සිහිපත් කළාය. ජේන් ෆෙලෝස් ආර්යාව මේ අයුරින් මීට පෙර කතාවක් පැවැත්වූයේ 1997 වසරේ ඩයනා කුමරියගේ අවමංල්‍යයේදීය.

දේව යාච්ඥාවලින් පසු මුදු මාරු කර ගනිමින් හැරී කුමරු සහ මේගන් යුග දිවියට පත් වූහ. මේගන්ගේ පාර්ශ්වය නියෝජනය කරමින් ඇමෙරිකානු කතෝලික පූජකවරුන් සහ පූජකවරියෝ දේශනා පැවැත්වූහ. වාදක වෘන්දයක් සුමිහිරි වාදනයක් ඉදිරිපත් කළේය. පල්ලියේ ගායක කණ්ඩායමක් අතිශය ජනප්‍රිය ස්ටෑන්ඩ් බයි මී’ ගීතය ගායනා කළේය. මිහිරි වීනා වාදනයක් ද ඉදිරිපත් කෙරුණි.

හැරී කුමරු මෙන්ම මේගන් ද සිටියේ හැගීම්බරවය. මේගන්ගේ දෑස් සතුටු කඳුළින් පිරී තිබුණි. පියා චාල්ස් විසින් මේගන් තමන් වෙත කැන්දන් ආ විට, ඇය සමඟ සිනාසෙමින් හැරී කියා සිටියේ ‘ඔයා හරි ලස්සනයි’ කියාය. විවිහය සිදු කෙරුණේ කැන්ටබරි අගරදගුරු ජස්ටින් වෙල්බි අතිනි. සජීවීව, ලොව මිලියන ගණනක් එය නැරැඹූහ.

බී.බී.සී. සහ ඇමෙරිකාවේ සී.එන්.එන්. ඇතුළු ලොව ප්‍රධාන පෙළේ රූපවාහිනී නාළිකා රැසක් රජ මඟුල සජීවීව විකාශය කළේය.

හැරී කුමරු සහ  මේගන් මාකෙල් ට සසෙක්ස් ආදිපාදවරයා සහ ආදිපාදවරිය යනුවෙන් ගෞරව නාමයක් ද පිරිනැමුණු බව බකිංහැම් මාලිගය පවසා ඇත.

දෙව්මැදුර තුළ සියලු කටයුතු අවසන් වීමෙන් පසු නව යුවල දෙව් මැදුරෙන් පිටවීමට පැමිණියේ ප්‍රධාන දොරටුවෙනි. දෙවැනි එලිසබත් මහ රැජින, වල්ලභයා පිලිප් කුමරු, චාල්ස් කුමරු සහ කැමිලා ආදිපාදවරිය මේගන්ගේ මව, විලියම් කුමරු, කේට් මිඞ්ල්ටන් ආදිපාදවරිය, චාලට් සහ ජෝර්ජ් නව යුවල පසුපසින් සිටියහ. කේට් කුමරිය, ඇය සහ විලියම්ගේ අලුත් පුත් කුමරු මංගල අවස්ථාවට රැගෙන විත් නොතිබුණි.

දෙව් මැදුරේ ප්‍රධාන දොරටුව අභියස පිය ගැට පෙළ මත දී, ‘අපි සිප ගනිමු නේද ?’ යැයි විමසමින් දෙදෙනා සපගත් අතර, ඉදිරිපස රැස්ව සිටි පිරිස ජය ඝෝෂා නගන්න වූහ. හැරී සහ මේගන් සසෙක්ස් ආදිපාදවරයා සහ ආදිපාදවරිය, ඔවුන් වෙනුවෙන් විශේෂයෙන් සැකැසූ අශ්ව කරත්තයෙන් මඟ දෙපස රැස්ව සිටි දස දස් ගණනක් පිරිස් වෙත අත වනමින් වින්ස්ඩෝර් මාලිගය සහ ඒ අවට විනාඩි 30 ක් පමණ වීදි සංචාරයේ නියැලුණේ ඉන් පසුවය.

සවස දෙකට දෙවැනි එලිසබත් මහ රැජිනගේ ප්‍රධානත්වයෙන් සහ සවස චාල්ස් කුමරුන්ගේ ප්‍රදානත්වයෙන් ප්‍රිය සාද දෙකක් පැවැත්විණි. දෙව් මැදුරේ මංගල අවස්ථාවට ආරාධනා ලැබ පැමිණ සිටි අමුත්තතෝ සහ තවත් ආරාධිත අමුත්තෝ රැසක් එම සාදවලට සහභාගී වූහ.

ඒ.එෆ්.පී. ඇසුරිනි

 


RECOMMEND POSTS