සබඳතා සවිමත් වෙයි



ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කරගැනීමටත් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා තාක්ෂණික සහාය දැක්වීමටත් තම රට සූදානම් බව ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති ආචාර්ය රොන් මල්කා මහතා ඊයේ (12) පැවැසීය.

කොළඹ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී හෙතෙම ඒ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන කටයුතුවලටත් ආර්ථිකයේ විවිධ අංශවලටත් ඊශ්‍රායලයේ තාක්ෂණික සහාය සැපයීමට සූදානම් බව කී ආචාර්ය රොන් මල්කා මහතා කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, ප්‍රවාහනය සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වයක් දෙන බව ද කීවේය.

දෙරට අතර පවතින සබ‌ඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමටත් සහයෝගීතාව ඇති කරගැනීමට සුදුසු නව ක්ෂේත්‍ර හඳුනාගැනීමේත් අරමුණින් ශ්‍රී ලංකාවේ සංචාරය කළ බව ද ඔහු කීය.

ගොවිතැන සඳහා නවීන ක්‍රම හඳුන්වාදීම තුළින් දැනට පවතින කෘෂිකාර්මික ක්‍රියාකාරකම් සඳහා වටිනාකමක් එකතු කිරීමට තම රටට හැකියාව ඇති බව ද ඊශ්‍රායල තානාපතිවරයා කීවේය.

අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ක්ෂේත්‍ර නවීකරණය සඳහා සහාය වීමට ද ඊශ්‍රායලයට හැකියාව තිබෙන හෙතෙම කීය.

තමා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ කාලයේදී අවස්ථා තුනකදී ඊශ්‍රායලයේ සංචාරය කළ බවත් ශ්‍රී ලංකා ආර්ථිකයේ තෝරාගත් ක්ෂේත්‍ර සංවර්ධනය කිරීමට සහාය දීමේ හැකියාවක් ඊශ්‍රායලය සතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

එහිදි තානාපතිවරයා දැනුවත් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ද කීය.

‘‘ජාතික ආර්ථිකයට දෙන දායකත්වය සහ රැකියාවේ නිරත ජන සංඛ්‍යාව සැලකිල්ලට ගැනීමේදී කෘෂිකර්මාන්තය අපට ඉතා වැදගත්. එය වැඩි වශයෙන් රඳා පවතින්නේ සාම්ප්‍රදායික ක්‍රම මත. ගොවීන්ට ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්නේ නැහැ. ඔවුන් දීර්ඝකාලීනව දිළිඳුබවින් පීඩා විඳිනවා. එබැවින් කෘෂිකර්මාන්තය රැකියාවක් ලෙස තෝරාගැනීමට තරුණ පිරිස් මැලිකමක් දක්වනවා. එම නිසා ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට සහ තරුණ කොටස් ආකර්ෂණය කරගැනීම සඳහා කෘෂිකර්මාන්තය නවීකරණය අවශ්‍යයි’’.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සහ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ පළමු ලේකම් නෝවා හකිම් මහත්මිය ද මෙම සාකච්ඡාවට එක්වූවාය.


RECOMMEND POSTS