සදාම් හුසේන් හිටියා නම් මැදපෙරදිගට මෙහෙම වෙන්නේ නැහැ - සී.අයි.ඒ හිටපු නියෝජිතයෙක් කියයි !



සදාම් හුසේන් පාලනය පෙරලා දමනු ලැබීමෙන් පසු ඉරාකයේ උද්ගත වූ තත්වය සම්බන්ධයෙන් තමා ලැජ්ජාවට පත්වෙන බව ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු අංශයේ (CIA) හිටපු නියෝජිතයකු වූ ජෝන් නික්සන් පවසයි. 

ඉරාක් යුද්ධය පරාජය වී පළාගොස් සැඟව සිටිය දී 2003 දෙසැම්බර් මාසයේ අල්ලාගත් සදාම් හුසේන්ගෙන් ප්‍රශ්න කරන ලද්දේ ජෝන් නික්සන් (John Nixon) නම් එම සීඅයිඒ නියෝජිතයා විසිනි.

බීබීසිය සමඟ පැවැත්වූ සාකච්ඡාවක‍ට එක් වෙමින් හෙතෙම මේ බව කීය.එහිදී වැඩිදුරත් අදහස් දැක්වූ ජෝන් නික්සන් පෙන්වා දුන්නේ තම ජීවිතයේ වඩාත් ආකර්ශනීය පුද්ගලයා සදාම් හුසේන් වන බවය.

සදාම් පාලනය බිඳ හෙළනු ලැබීමෙන් අනතුරුව ඉරාකයේ කවර තත්වයක් උද්ගත වේද යන්න සම්බන්ධයෙන් බුෂ් පරිපාලනයට අදහසක් නොවූ බවත් ජෝන් නික්සන් පවසයි.

ඊනියා ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය වැනි අන්තවාදී කණ්ඩායම්වල නැඟීම ගැන අවධානය යොමුකළ ජෝන් නික්සන් 'සදාම් හුසේන් ඉරාක් පාලනයේ දිගටම රැඳී සිටියේනම් කලාපය වඩාත් යහපත් තත්වයක පවතිනු ඇත' යන්න සිය විශ්වාසය බවත් සඳහන් කළේය.

 

( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි ....


RECOMMEND POSTS