වූහාන් නගරයට සීල් තැබේ



නව කොරෝනා වයිරසය තවත් පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස එම වයිරසය ආරම්භ වූ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය සීල් තැබීමට චීන සෞඛ්‍ය බලධාරීහු පියවර ගෙන ඇත.

ඒ අනුව, විශේෂ අවසරයක් නොලැබ වූහාන් නගරයෙන් පිටවීමට හෝ නගරයට ඇතුළුවීමට හෝ නොහැකි බව පැවැසෙයි. වූහාන් නගරයේ පාසල් වසා දමා ඇති අතර, නගර වැසියන්ට හැකිතාක් නිවෙස් වල රැඳෙන්නැයි උපදෙස් ලැබී ඇත.

වූහාන් නගරයෙන් පිටවන ගුවන් සේවා සහ දුම්රිය සියල්ල අත්හිටුවීමට පියවර ගෙන ඇත. යම් අයකුට ඉතා හදිසියකට නගරයෙන් බැහැර වීමට සිදුවන්නේ නම් විශේෂ අවසරයක් ලබා ගැනීම කළ යුතු වෙයි. එම පුද්ගලයන් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කෙරෙන බව ද පැවැසෙයි.

කොරෝනා වර්ගයේ වයිරසයක් බව හඳුනාගෙන ඇතත්, වයිරසය මුලින්ම මිනිසුන්ට ආසාදනය වූයේ කෙසේදැයි මෙතෙක් තහවුරු වී නැත. කොරෝනා කාණ්ඩයට අයත් වයිරස සතුන්ගෙන් මිනිසුන්ට බෝ වෙයි. සතුන් අතරේ පැවැතියත්, මිනිසුන්ට බෝ නොවන කොරෝනා වයිරස ද ඇත. මෙම නව වයිරසයත් ඇතුළුව මිනිසුන්ට බෝ වන කොරෝනා වයිරස ගණන 7 ක් යැයි පැවැසෙයි.

‘සර්ස්’ සහ ‘මර්ස්’ යනු කොරෝනා වයිරසය. සාර්ස් චීනයෙන් පැතිර යෑම ආරම්භ වුණු මාරක වයිරසයකි. සාර්ස් මිනිසුන්ට ආසාදනය වූයේ කැළෑ බළලුන්ගෙනි. සාර්ස් වසංගත තත්ත්වයක් බවට පත්වූයේ 2002 දීය. සර්ස් රෝගය ආසාදනය වී මියගිය ගණන 813 කි. 8,437 දෙනෙක් රෝගී වූහ. 2003 වෙද්දී වයිරසය මර්දනය කිරීමට හැකියාව ලැබුණි. චීනයෙන් ඇරැඹුණු ‘සර්ස්’ වයිරස රටවල් 30 ක් පුරා පැතිරිණි. ‘මර්ස්’ යනු මැදපෙරදිග ඔටුවන්ගෙන් මිනිසුන්ය ආසාදනය වූ වයිරසයකි. ‘මර්ස්’ වසංගත තත්ත්වයක් නිර්මාණය වූයේ 2012 දීය.

වූහාන් නගරයෙන් හමුවුණු නව වයිරසය ‘2019 එන්.කෝ.වී’ යනුවෙන් නම් කර ඇත. වයිරසය මිනිසුන්ගෙන් මිනිසුන්ට බෝවෙනවා යැයි චීන සෞඛ්‍ය බලධාරීන් තහවුරු කළේ ඉකුත් 20 වැනිදාය. මේ වනවිට රෝගය චීනයේ නගර රැසක් පුරා පැතිර ගොස් ඇත. රෝගී වූවන් ගණන 550 කට වැඩිය. රෝගය උත්සන්න වී මියගිය ගණන 17 කි.

ඇමෙරිකාව, ජපානය, දකුණු කොරියාව, තායිවානය සහ තායිලන්තය යන රටවලින් ද රෝගීන් හමුවී ඇත. මෙම රටවලින් හමුවුණු රෝගීන් සියල්ල වූහාන් නගරයේ සංචාරය කර පැමිණි අය යැයි ද තහවුරු වී ඇත. වයිරසය පැතිරීම වැළැක්වීමේ අරමුණින් විදේස ගුවන්තොටුපොළ රැසක ස්කෑන් යන්ත්‍ර සවි කර ඇත. ගුවන් මගීන්ගේ සිරුරේ උෂ්ණත්වය අසාමාන්‍ය අයුරින් වෙනස් වී ඇති නම්, එය පහසුවෙන් හඳුනා ගැනීම මෙම ස්කෑන් යන්ත්‍ර හරහා දැනගත හැකිය.

‘2019 එන්.කෝ.වී’ වයිරසයට කිසිදු ප්‍රතිකර්මයක් නොමැත. වයිරසය ආසාදනය වුවහොත් දින ගණනක් රෝගී වී සිටීමට සිදුවෙයි. රෝග ලක්ෂණ උණ, සෙම්ප්‍රතික්ෂාව, කැස්ස, ස්වසන ආබාධ, වකුගඩු අක්‍රිය වීම සහ නිම්මෝනියාව යැයි චීන සෞඛ්‍ය බලධාරීහු පවසති. රෝගය පැතිර යෑම ආරම්භ වූයේ පසුගිය දෙසැම්බර් 31 වැනිදා සිටය.

ලොව කැලඹූ දරුණුතම කොරෝනා වයිරසය ලෙස සැලකෙන්නේ ‘සාර්ස්’ වයිරසයයි. කෙසේ නමුත් තවමත් අබිරහසක් වූ ‘2019 එන්.කෝ.වී’ නව වයිරසය සාර්ස් තරම් දරුණු වයිරසයක් නොවන බව පැවැසෙයි. නව වයිරසය ආසාදනය වී රෝගීවූවන් කීප දෙනකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවී ගොස් ඇති බව ද වූහාන් සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.

වූහාන් නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS