ලොව අවසන් සුදු රයිනෝ මියයයි



කෙන්යාවේ වන ජීවී සුරැකීමේ මධ්‍යස්ථානයක එරට හමුදාවේත් වන ජීවී නිලධාරීන්ගේත් ආරක්ෂාව යටතේ ජීවත් වුණු ලොව අවසන් ධවල රයිනෝ පිරිමි සත්වයා මියගියේය. 

‘සුඩාන්’ නමැති මෙම ධවල රයිනෝ මියගියේ පසුගිය මාස කිහිපය පුරාවට දරුණු චර්ම රෝගයකින් පීඩා විදීමෙන් යැයි ඌට ප්‍රතිකාර ලබා දුන් පශූ වෛද්‍ය කණ්ඩායම පවසා ඇත. ‘සුඩාන්’ බොහොම අහිංසක රයිනෝ සත්වයකු බවට ප්‍රකටය.

පසුගිය වසර කිහිපයේ පැය 24 පුරා හමුදා ආරක්ෂාව මැද ‘සුඩාන්’ ජීවත් වූයේ කෙන්යාවේ ලයිකිපියා ප්‍රාන්තයේ අක්කර 90,000 ක ප්‍රදේශයක් පුරා පැතිරුණු ඔල් පෙජෙටා වන රක්ෂිතය සහ වන සත්ව සුරැකීමේ මධ්‍යස්ථානයේය.

‘සුඩාන්’ යනු උතුරුදිග ධවල රයිනෝ සත්වෙයකි. මෙම රයිනෝ සත්වයා, රයිනෝ පවුලේ උප විශේෂයකට අයත් වෙයි. එම ධවල රයිනෝ උප විශේෂයේ තවත් ඇත්තේ ගැහැනු සතුන් දෙදෙනකු පමණි.

අඟ ලබා ගැනීමේ අරමුණින් ඉවක් බවක් නොමැතිව ධවල රයිනෝ සතුන් දඩයම් කිරීම, උන්ගේ වඳවී යෑමට හේතුවක් විය. රයිනෝ අං ඖෂධ සඳහා යොදා ගනී. 1970 සහ 80 දශකයේ, සුදු රයිනෝ සත්වයෝ අප්‍රිකා රටවල් වන උගන්ඩාව, මධ්‍යම අප්‍රිකා ජනරජය, සුඩානය සහ චැඞ් යන රටවල ු බහුලව ජීවත් වූහ.

මියයද්දී, ‘සුඩාන්’ගේ වයස අවුරුදු 44 ක් හෝ 45 ක් හෝ වන්න ඇතැයි වනජීවී නිලධාරීහු කියති. සුඩාන් උපත ලබා ඇති බවට පැවැසෙන්නේ 1973 වසරේය. ඒ, දකුණු සුඩානයේදීය. රයිනෝ සත්වයා ‘සුඩාන්’ යන නමින් හැඳින්වෙන්නේ ද එහෙයිනි. අවසන් ධවල රයිනෝ පිරිමි සත්වයා බවට පත්වීමත් සමඟ ‘සුඩාන්’ වූයේ කෙන්යාවේ ලයිකිපියාහි ‘ඔල් පෙජේටා’ වන රක්ෂිතයට රැගෙන එන ලදී. ඒ, 2009 වසරේදීය.
අවසන් පිරිමි ධවල රයිනෝ සත්වයා හේතුවෙන් කෙන්යා රජය ‘සුඩාන්’ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යොදවා තිබුණි. පැය 24 පුරාවට කෙන්යා හමුදාවේ සන්නද්ධ සෙබළුන්ගේ ආරක්ෂාව ඌට හිමිවිය. ‘සුඩාන්’ගේ සුවදුක් විමසා බැලීමට විශේෂ පශු වෛද්‍ය කණ්ඩායමක් ද පත් කර තිබුණි.

‘සුඩාන්’ දරුණු චර්ම රෝගයට ලක්වුණු අවස්ථාවේදී ඌ බේරා ගැනීමට දෙස් විදෙස් පශූ වෛද්‍ය කණ්ඩායම් බොහෝ සේ වෙහෙසුණු බව පැවැසෙයි. වෛද්‍යවරුන් දිවා රෑ නොබලා ‘සුඩාන්’ ට ප්‍රතිකාර කළත් උගේ මහලු වයස හේතුවෙන් ඌ බේරා ගැනීම අසීරු වුණු බව ඔවුන් බොහොම කනගාටුවෙන් පවසා ඇත. අවුරුදු 50 තෙක් ජීවත් වීම, මෙවැනි ධවල රයිනෝ සත්වයකුගේ පරමායුෂ යැයි වනජීවීහු වැඩි දුරටත් පැහැදිලි කරති.

අවසන් ධවල රයිනෝ පිරිමි සත්වයා ලෙස ‘සුඩාන්’ ලොව කා අතරේත් ජනප්‍රිය වී සිටියේය. ලොව ජනප්‍රිය නළු නිළියන්, වන ජීවී සුරැකීමේ සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන නිරන්තරයෙන් ‘සුඩාන්’ ගැන සොයා බැලුවා පමණක් නොව, ‘සුඩාන්’ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කෙන්යාවට මුදල් පරිත්‍යාග පවා සිදු කළ බව වාර්තා වේ. වන සතුන් සුරැකීම වෙනුවෙන් පෙනී සිටින ජනප්‍රිය නළු නිළියන් පවා ‘සුඩාන්’ගේ සුවදුක් බැලීමට ඌ හමුවීමට ගොස් ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS