ලාංකික රස මසවුලු ජෝර්දානයට



ශ්‍රී ලංකාවට අවේනික ආහාර වර්ග ජෝර්දානයේ ප්‍රචලිත කිරීමට හා එරට  සාංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ අරමුණෙන් ‘‘ ශ්‍රී ලංකා ආහාරපාන ප්‍රදර්ශනයක් අම්මාන් නුවර ග්‍රෑන්ඩ් හයාත් හෝටලයේදී ජෝර්දාන සම්භාවනීය අමුත්තඉකුත්දා පැවැත්වූ බව ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ජෝර්දනයේ අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කළ මෙම දේශීය ආහාර පාන ප්‍රදර්ශනයේදී ලංකාවේ ප්‍රචලිත මුහුදු ආහාර වන ඉස්සන් , කෙළවල්ලන් ,පොකිරිස්සන් , කකුලුවන්  ආදියද , දේශීය එලවුලු වර්ග වන කිරි කොස් , කෙසෙල් මුව , වට්ටක්කා ,ගොටුකොළ ,කජු ,අලු කෙසෙල් , පතෝල , රතු හාල් , ආප්ප වර්ග , ඉදි ආප්ප  ආදී ආහාර වර්ග ප්‍රදර්ශනය කෙරිණි.මේවා සියල්ලක්ම ලංකාවෙන් ගෙන්වූ ඒවා වීම විශේෂත්වයකි.එසේම මෙම ආහාර වර්ග සියල්ලක් සැකසීම ඕමානයේ මස්කට් නුවර සේවය කරන ලාංකික සූපවේදී නුවන්ග සිරිබද්දනගේ විසින් සිදු කෙරිණි.

ආහාර ප්‍රදර්ශනයට පැමිණි බොහොමයක් දෙනා ජෝර්දාන ජාතිකයින් වූ අතර ඔවුන් වෙනුවෙන් ලංකාවේ ප්‍රමුඛ පෙලේ නර්තන ශිල්පියෙකු වන චන්න විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් චන්න- උපුලි නර්තන කණ්ඩායම විසින් උඩරට, පහතරට නැටුම් සම්ප්‍රදායට අයත් නර්තනාංගද ඉදිරිපත් කරන ලදී.

මෙම දේශීය ආහාර ප්‍රදර්ශනය ගැන අදහස් දක්වමින් ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති ඒ.එල්.එම් ලාෆීර් මහතා කියා සිටියේ දෙරට අතර ද්විපාර්ශවික සබදතා තහවුරු කිරීමටත් , ජාතීන් අතර මිත්‍රත්ත්වය ගොඩනැංවීමටත් ඉවහල් වනු ඇති බවය.

ලාංකික ආහාර ප්‍රදර්ශනය සදහා ජෝර්දාන සංචාරක මණ්ඩලයේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් අබ්දුල් අල් රසාක් අරබියාත් , එරට සිටින විදෙස් තානාපතිවරැ පනස්දෙනෙකුද ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

තිළිණි දි සිල්වා


RECOMMEND POSTS