ලංකාවේ කෑම හැදූ පුංචි සූපවේදිනිය



‘මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා’ ඉහුම්පිහුම් රියැලටි වැඩසටහන් අතරින්, කාගේත් ආදරය දිනූ වැඩසටහනකි.  කටට රසට ආහාර සැකැසීමේ සුවිශේෂි හපන්කම් ඇති ඕස්ට්‍රේලියානුවන් වෙනුවෙන් මෙම වැඩසටහන විවෘත වන අතර, අභියෝග ජය ගනිමින්, සති කීපයක් පුරා පැවැත්වෙන වට කිහිපයකින් පසු අවසන් වටයට සුදුසුකම් ලබන තිදෙනා අතරින් ජයග්‍රාහකයකු තෝරා ගැනෙයි.

‘මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා’ ලොකු පොඩි කාගේත් ආදරය දිනූ වැඩසටහනක් බැවින්, ඉහුම් පිහුම් දන්නා ඕස්ට්‍රේලියා පොඩ්ඩන් වෙනුවෙන් ද වෙනම වෙන්වුණු ‘මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා’ වැඩසටහනක් ඇත. එය ‘ජූනියර් මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා’ වන අතර, අවුරුදු 9 ත් 14 ත් වයස් කාණ්ඩයේ පොඩිත්තෝ මෙම තරගයට ඉදිරිපත් වෙති.

පසුගිය දා ‘ජූනියර් මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා’ වැඩසටහනේ ජයග්‍රාහිකාව වූයේ 11 හැවිරිදි පුංචි දැරියකි. ජෝර්ජියා නමැති ඇය ඕස්ට්‍රේලියා ජාතිකයකු වන අතර, ඇගේ මව සහ පියා ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි ලාංකිකයෝය. ජෝර්ජියාගේ සීයා සහ ආත්තම්මා ශ්‍රී ලංකිකයෝය. ජෝර්ජියාට කෑම උයන්න උගන්වා ඇත්තේ ඇගේ අත්තම්මාය. අත්තම්මා තමන්ට රස කෑම වර්ග පිළියෙළ කිරීමට ඉගැන්වූ අයුරු  පුංචි ජෝර්ජියා සිහිපත් කරන්නේ මහත් ආඩම්බරයෙනි.

‘ජූනියර් මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා’ තරගාවලියට ඉදිරිපත් වී, විනිසුරුවරුන් මවිතයට පත් කරමින්, තරගකරුවන් සහ තරගකාරියාන් 13 දෙනා අභිබවා, අදියරෙන් අදියර ජය ගනිමින් ඉදිරියට පැමිණ, අවසන් වටයේ දී ජෝර්ජියා ජයග්‍රහණය කළේ, ලාංකික අනන්‍යතාවය පිරි, ලාංකික අභිමානය ලොවට පෙන්වන පිරුණු ප්‍රණීත කෑම වර්ග සහ අතුරුපස ඉදිරිපත් කරමින්ය. තරගාවලිය අතරතුරේ ජෝර්ජියා ඌරුමස්, බටු මෝජුවක් සහ කජු ව්‍යංජනයක්, කහබත්, පපඩම්, පිපිඤ්ඤා සලාදයක් ද පිළියෙළ කළාය. ජයග්‍රහණය උදෙසා ඇය පිළියෙළ කළේ අයිස් ක්‍රීම්, වියලි මිදි රස අතුරුපසක් සහ ලෙමන් ග්‍රාස් ගැනිටා බීම වීදුරුවකි. තම අතුරුපස අවුල් ජාලයක් යැයි පවසමින්, ජෝර්ජියා විනිසුරුවරුන් වෙත එය පිළිගැන්වුණු අතර, විනිසුරුවරුන්ට එය අපූරු අත්දැකීමක් විය.

ජූනියර් මාස්ටර් චෙෆ් කිරුළත් සමඟ පුංචි කෙල්ල ජෝර්ජියාට ඩොලර් 25,000 ක මුදලක් තෑගි වශයෙන් හිමිවිය. රූපවාහිනී නිවේදිකාවක මෙන්ම කෑම වර්ග විවේචනය කරමින් ඒ ගැන පොත් රචනා කරන මෙලිස්සා ලියොන්, ස්කොට්ලන්ත ජාතික සුපවේදී ජෝක් සොන්ෆ්‍රිලෝ සහ ඕස්ට්‍රේලියානු සූපවේදී ඇන්ඩි ඇලන් වැඩසටහන මෙහෙයවමින් විනිසුරුවරුන් ලෙස ද කටයුතු කළහ. අවසානයේ ජෝර්ජියා සකස් කළ විනිසුරුවරුන් අමන්දානන්දයට පත් කළ අතුරුපස රස බලා ඒ ගැන විනිශ්චයක් ලබා දීමට ආරාධිත විනිසුරුවරියක ලෙස ජෝර්ජියාගේ මට ද ඇරැයුම් ලැබුණි.

‘ඩොලර් 25,000 ක් කියන්නේ කොපමණදැයි මට අවබෝධ නැහැ. තාම මට 11 යි. මං ලොකු වුණාම ඒ මුදල් පාවිච්චියට ගන්නයි හිතාගෙන ඉන්නේ. මං කැමතියි ලෝකය වටේ සංචාරය කරලා කෑම ජාති රස බලන්න. ඒවා හදන හැටි ඉගෙන ගන්න. ප්‍රංශයට ගිහින් රසම රස නැවුම් පේස්ට්‍රි රස බලන්න. මා දන්නේ ආත්තම්මා මට ඉගැන්වූ රසම රස ශ්‍රී ලංකාවේ කෑම ගැන විතරයි. ලෝකයේ අනෙක් රටවල කෑම වර්ග ගැනත් මං දැන ගන්න ආසයි’ යැයි පුංචි ජෝර්ජියා, මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වීමක් කළාය.

ජෝර්ජියා ජයග්‍රහණය කළේ අවසන් වරයට තේරුණු 12 හැවිරිදි තරගකරුවන් දෙදෙනා වන ෆීලෝ සහ කාටර් පරාජය කරමිණි. ෆීලෝ සහ කාටර් දෙදෙනාට ඩොලර් 5,000 බැගින් මුදල් තෑගි හිමිවිය.

ඕස්ට්‍රේලියා පුවත් සේවා


RECOMMEND POSTS