රේස් පදින අරාබි යුවතිය



ඇමෙරිකාවේ නැස්කාර් රෝසිං, ඇමෙරිකාවේ පමණක් නොව, ලොව පුරා ප්‍රසිද්ධය. පසුගිය දා 2021 මෙරාන්ඩ්ස් තරගාවලිය ෆ්ලොරීඩාවේ ආරම්භ වූයේ 'කොවිඩ් 19' වසංගතය හමුවේ, සෞඛ්‍ය උපදෙස් අනුවය.

ටෝනී බ්‍රයිඩින්ජර් ඊට සහභාගී වූයේ පළමු වතාවටය. නම ටෝනී වුවත්, ටෝනී බ්‍රයිඩින්ජර් පිරිමියකු නොව, 21 ක් හැවිරිදි සුරූපිනියකි. උපතින් ඇමෙරිකානුවකු වන ඇයට ඇත්තේ අරාබි සම්භවයකි.

ඒ අනුව 'නැස්කාර්' තරගාවලියකට එක්වුණු පළමු අරාබි සම්භවයක් ඇති තැනැත්තිය ඇය යැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබේ.

 'ඕනෑම දෙයකින් පළමු වැනියා වෙන්නයි කවුරුත් කැමැති. මටත් එහෙම වෙන්න ආසාවක් තිබුණා. ඒ ආසාව ඉටු වුණා. පළමු වැනියා මා වුවත්, අන්තිමයා මා වෙනවා දකින්න මට ඕනෑ නැහැ. විශ්වාසයි, අරාබියෙන් තව තවත් රේසිං කාර් රියදුරියන් බිහිවේවි.' යැයි ටෝනී බ්‍රයිඩින්ජර් ඇමෙරිකාවේ සී.බී.එස්. නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැහැදිලි කර ඇත.

ටෝනී බ්‍රයිඩින්ජර්, උපන්නේත් හැදී වැඩී ඇත්තේ කැලිෆෝනියාවේය. ඇයට අරාබි සම්භවයක් ඇත්තේ ඇගේ මවගෙනි. ඇගේ මව උපත ලබා ඇත්තේ ලෙබනනයේ බේරූට් නුවරය.

ටෝනී බ්‍රයිඩින්ජර්ගේ නෑදෑයින් බොහෝ දෙනකු තවමත් බේරූට්වල ජීවත් වෙති. ටෝනීගේ පියා ඇමෙරිකානුවෙකි. රේසිං කාර් රියදුරකු වීමේ ටෝනීගේ සිහිනය සැබෑ කළේ ඔහුය.

ටෝනිගේ පියා යාන්ත්‍රික ඉන්ජිනේරුවෙකි. රේසිං කාර්වලට ප්‍රිය කරන්නෙකි. පියා මෙන්ම තමන් ද රේසිංකාර්වලට ඇල්මක් දක්වන බවත්, ගෝ කාට්ර් රේසිංවලදී දස්කම් පෙන්වීමට හැකියාව ඇති බවත් අවබෝධ වනවිට ටෝනිගේ වයස අවුරුදු 9 කි.

ටෝනීගේ පියා, දියණියගේ හැකියාව අගය කරමින් තවත් ඇය දිරි ගන්වමින්, ඇය වෙනුවෙන් කුඩා ගෝ කාට්ර් රේසිං කාරයක් මිලදී ගෙන තිබේ.

'තාත්තා මාව තරගවලට යොමු කළා. දිනන්න යැයි ඔහු කවදාවත් කීවේ නැහැ. තරයට සහභාගී වෙන්න, විනෝද වෙන්න. විනෝදයෙන් තරග කරන්න තාත්තා මට කියන්නේ එපමණයි. අදත් තරගවලට මා සහභාගී වෙනවා දැකීම පමණයි තාත්තාගේ සතුට. මා ජයග්‍රහණය වුණත්, පරාජය වුණත්, එයාට මං හැමදාම ජයග්‍රහණයක්.' ඇය පවසයි.

ටෝනී බ්‍රයිඩින්ජර් සමාජ මාධ්‍ය හරහා ද අතිශය ජනප්‍රිය චරිතයකි. ඇයට ආදරේ කරන, ඇයට 'ලයික්' දමන පිරිස මිලියනයකට වැඩිය. 2021 නැස්කාර් මෙරාන්ඩ්ස් තරගාවලියට සහභාගී වීමත් සමඟ ටෝනී බ්‍රයිඩින්ජර් ලෙබනනයේත්, සෙසු අරාබි රටවලත් කතාබහට ලක් වී ඇත.

නැස්කාර් මෙරාන්ඩ්ස් තරගාවලියෙන් ජයග්‍රහණයක් වාර්තා කිරීමට නොහැකි වුවත්, තරගයට සහභාගී වීම ගැන ටෝනී බ්‍රෙයිඩිනර් සතුට පළ කරයි. 'රේසිං කාර් පිරිමින්ගේ ක්‍රීඩා. ඒත් ඒක එහෙම වෙන්න ඕනෑ නැහැ. පිරිමින්ට නොදෙවැනි කාන්තා රේසිං රියදුරන් ඉන්නවා. ධාවන පථයට පිවිසී තරගයට යොමු වෙද්දී, ගැහැනු පිරිමි භේදයක් නැහැ. දිනන්න ලැබෙන්නේ දස්කම් පෙන්වන කෙනාට පමණයි.' යැයි ටෝනී බ්‍රයිඩින්ජර් පවසයි.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS