රුසියානු ජනාධිපතිවරණය අද



රුසියානු ජනාධිපතිවරණය අද (18) පැවැත්වෙයි. සමස්ත රුසියානු ජනතා පක්ෂ සන්ධානයේ ප්‍රධාන පක්ෂය ලෙස සැළකෙන ‘නිදහස් පක්ෂය’ නියෝජනය කරමින් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද ජනපතිවරණයට ඉදිරිපත් වෙයි.

පුටින් තෙවරක් රුසියාවේ ජනාධිපති වී ඇති අතර, මෙවර ඔහු ජනපති ධුරය අපේක්ෂා කරන්නේ සිවුවැනි වරටය. මෙවර ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළොත් 2024 තෙක් පුටින් රුසියාවේ ජනපති ලෙස රැඳී සිටිනු ඇත.

රුසියානු දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන අන්දමට යළිත් වරක් ජනපති ධුරයට පත් වීමට පුටින්ට හැකි වනු ඇත. රුසියානු මාධ්‍ය අයතන සිදු කළ සමීක්ෂණවලින් ද ඒ බව තහවුරු වී ඇත. බටහිර රටවලට ‘සතුරකු’ වුවත්, රුසියානුවන් අතරේ ජනාධිපති පුටින් ‘වීරයෙකු’ බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මෙවර ජනාධිපතිවරණයට පුටින්ට අමතරව තවත් අපේක්ෂකයෝ හත් දෙනෙක් තරග වදිති. ඔවුන් අතර එක් අපේක්ෂිකාවක ද සිටී. ඇය ‘ජනතා ශක්තිය’ පක්ෂය නියෝජනය කරන සීනියා සොබ්චැක්ය. 36 හැවිරිදි සේනියා සොබ්චැක් මාධ්‍යවේදිනියකි. ඇය සුරූපිනියකි. රූපවාහිනී නිවේදිකාවකි. නිළියකි.

සේනියා පසුගිය වසරේ දින 20 ක සිර දඬුවමක් වින්දේය. ඒ, ජනපති ව්ලැදිමීර් පුටින්ගේ අකටයුතුකම් සහ රජයේ දූෂණ වංචා ආදිය සම්බන්ධයෙන් රට වැසියන්ට හෙළි කරමින්, සිය පක්ෂ ක්‍රියාකාරීන් පිරිවරාගෙන, නීතිවිරෝධී ආකාරයෙන් විරෝධතා රැළි පැවැත්වූයේ යැයි යන චෝදනාවලට වරදකාරිය වීමෙනි.

රුසියාවේ විපක්ෂ නායක ලෙස පිළිගැනෙන්නේ ප්‍රගතිශීලී පක්ෂයට නායකත්වය දෙන 42 හැවිරිදි ඇලෙක්සි නවාල්නීය. ඔහුට මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකිය. ඒ, අධිකරණ තීන්දුවක් මුල්කොට ගනිමිනි.

සේනියා සොබ්චැක් ශාන්ත පීටර්බර්ග් නුවර පුරපති ලෙස කටයුතු කළ අභාවප්‍රාප්ත ඇනටෝලි සොබ්චෙක්ගේ දියණියයි. ඇනටෝලි සොබ්චෙක් 1990 දශකයේදී රුසියානු කේ.ජී.බී. රහස් ඔත්තු සේවයේ දක්ෂ නිලධාරියකුට සිය පරිපාලනයේ රැකියාවක් සොයා දුන්නේය. එම නිලධාරියා ව්ලැදිමීර් පුටින්ය. පුටින්ට ගුරුහරුකම් කියා දුන්නේ ඇනටෝලි සොබ්චෙක් යැයි රුසියානු පුවත් සේවා වාර්තා කර තිබේ.

විපක්ෂය නියෝජනය කළත්, සේනියා සොබ්චැක් රුසියානු වැසියන් අතරේ ජනප්‍රිය තැනැත්තියකි. සේනියා රුසියාවේ රූපවාහිනී රියැලටි වැඩසටහන් ද මෙහෙයවන්නීය. කවුරුත් මවිතයට පත් කරමින්, රුසියානු ජනපති පුටින්ට එරෙහිව යමින් සේනියා සොබ්චැක් ප්‍රගතශීලී පක්ෂය සමඟ එක් වූයේ 2012 වසරේය.

‘රුසියානු කොමියුනිස්ට් පක්ෂය’ නියෝජනය කරන්නේ පැවෙල් ගෘදින්න්ය. කොමියුනිස්ට් පක්ෂය ‘රුසියානු දේශපේ්්‍රමී සන්ධානය’ සමඟ එක් වී සිටී. ‘ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය’ වෙනුවෙන් ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ ව්ලැදිමීර් ශ්‍රිනොවෝස්කිය. අපේක්ෂක සර්ගේ බැබුරින් නියෝජනය කරන්නේ සමස්ත රුසියානු එක්සත් පක්ෂයයි. ග්‍රෙගොරි යලින්ස්කි, ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය’ හෙවත් ‘යැබ්ලෝකෝ’ පක්ෂයෙන් තරග වදී. අපේක්ෂක බොරිස් ටිට්වෝ නියෝජනය කරන්නේ සංවර්ධන පක්ෂයයි. ‘රුසියානු කොමියුනිස්ට්’ පක්ෂය නියෝජකය කරමින් ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ මැක්සිම් සුරේකින්ය.

අද ජනපතිවරණයෙන් බහුතර බලයක් හිමි කර ගැනීමට කිසිදු අපේක්ෂකයකු සමත් නොවුන හොත්, වැඩිම ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගන්නා අපේක්ෂකයන් දෙදෙනා අතරේ යළි ඡන්දයක් පැවැත්වෙයි. එම දෙවැනි වටය පැවැත්වෙනු ඇත්තේ අප්‍රේල් 8 වැනිදා යැයි රුසියානු මැතිවරණ බලධාරීන් නිවේදනය කර තිබේ.
රුසියානු පුවත් සේවා ඊයේ වාර්තා කළේ මිලියන 110 ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබුණු බවය.

පළමුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව උදා වූයේ රුසියාවේ පෙරදිග ප්‍රදේශවල වැසියන්ටය. මොස්කව් අගනුවර වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදා වූයේ ඉන් පැය 9 කට පසුව යැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය.

යළි ජනපති ධුරයට පත්වුවහොත් වසර 6 ක් ඇතුළත රුසියාවේ දරිද්‍රතාව අඩු කරන බවත්, පරිසරය සුරැකීම වෙනුවෙන් වැඩි අවදානයක් යොමු කරන බව පුටින් පවසා ඇත. කෙසේ නමුත් තමන් ජනපති ධුරයේ කටයුතු කරන අවසන් අවස්ථාව මෙය වනු ඇතැයි ද පුටින් පවසා ඇත. ව්‍යවස්ථාව වෙනස් කරමින් තමාගේ පැවැත්මට තමන් ජනපති ධුරයේ රැදී සිටින්නේ නැතැයි ද පුටින් අවධාරණය කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS