මෝදිට යළිත් විශිෂ්ට ජනවරමක්



ඉන්දීය ලෝක් සභා මැතිවරණයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවිය. ඒ අනුව තවත් වසර පහක කාලයක් ඉන්දියාවේ අගමැති ධුරය නරේන්ද්‍ර මෝදිට හිමිවෙයි.

පසුගිය අප්‍රේල් 11 වැනිදා සිට මැයි 19 වැනිදා තෙක් අදියර හතකින් පැවැත්වුණු මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම අද (23) සිදුවිය. මෙය 17 වැනි ලෝක් සභා මැතිවරණයයි.

ඉන්දීය ලෝක් සභාව හෙවත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ආසන 543 කින් සමන්විත අතර මැතිවරණය පැවැත් වූයේ ආසන 542 ක් වෙනුවෙනි. ඉතිරි ආසනය ඇන්ග්ලෝ ඉන්දියානුවන් වෙනුවෙන් වෙන් කර ඇති අතර, ඒ සඳහා නියෝජිතයන් තෝරා ගනු ලබන්නේ ඉන්දීය ජනාධිපතිවරයා විසිනි.

බහුතර බලය සඳහා දේශපාලන පක්ෂයක් හෝ දේශපාලන සන්ධානයක් ආසන 272 ක් දිනා ගත යුතුය. අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂය, අති විශිෂ්ට අයුරින් ආසන 324 ක් දිනා ගත්තේය.

භාරතීය ජනතා පක්ෂය ඔවුන්ට හිතවාදී දේශපාලන පක්ෂ ද හවුල් කර ගනිමින් මැතිවරණයට ඉදිරිපත් වූයේ ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය’ ලෙසය. පසුගිය 2014 ලෝක්සභා මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය දිනූ ආසන සංඛ්‍යාව 282 කි.

මෙවර මැතිවරණයේදී ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය ආසන 105 ක් දිනාගත් අතර සෙසු ආසන 113 ක් ස්වාධීන පක්ෂ අතරේ බෙදී ගියේය. ඉන්දීය ප්‍රධාන විපක්ෂ දේශපාලන බලවේගය වන කොංග්‍රස් පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වූයේ එක්සත් ප්‍රගතශීලී සන්ධානය ලෙස මධ්‍ය වාමාංශික පක්ෂ සමඟ සන්ධානගත වෙමිනි.

ප්‍රධාන හින්දු බලකොටු ලෙස සැලකෙන්නේ, රාජස්ථානය, මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තය සහ චතිස්ගාර් ප්‍රාන්තය. මෙම ප්‍රාන්ත පහසුවෙන් ජය ගැනීමට භාරතීය ජනතා පක්ෂයට හැකිවිය. කර්ණාටක ප්‍රාන්තයේ කොංග්‍රස් බලය බිඳ දැමීමට පවා භාරතීය ජනතා පක්ෂයට හැකියාව ලැබී ඇත. පන්ජාබය සහ තමිල්නාඩුව කොංග්‍රස් පක්ෂයට හිමිවිය. කොංග්‍රස් පක්ෂය තමිල්නාඩුවේ මැතිවරණයට ඉදිරිපත් වූයේ ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් පක්ෂය සමඟ හවුල් වෙමිනි.

මෙම මැතිවරණයේදී කොංග්‍රස් පක්ෂයේ ප්‍රගතියක් පෙන්නුම් කළේය. ඊට හේතුව, 2014 මහ මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂය හමුවේ කොංග්‍රස් පක්ෂ සන්ධානය දරුණු පරාජයකට ලක් වීමය.

2014 දී ඔවුන්ට දිනා ගැනීමට හැකිවූයේ ආසන 44 කි. එදා කොංග්‍රස් සංධානය මෙහෙයවීම කළේ සෝනියා ගාන්ධිය. මෙවර මැතිවරණයට කොංග්‍රස් සංධානය මෙහෙයවූයේ සෝනියාගේ පුතු රාහුල් ගාන්ධිය.

රාහුල් ගාන්ධි මෙවර මැතිවරණයට උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ අමෙති සහ කේරළයේ වේයනාද් ආසනවලින් ඉදිරිපත් විය. කේරළය කොංග්‍රස් පක්ෂය සතුවිය. අගමැති මෝදි උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ වරණාසි ආසනය නියෝජනය කළේය. උත්තර ප්‍රදේශ් ප්‍රාන්තය භාරතීය ජනතා පක්ෂය සතුවිය.

ඉන්දියානුවන් එකමුතුව එක්සත්ව, අභ්‍යන්තර සහ බාහිර ආක්‍රමණිකයන්ට එරෙහි වීම භාරතීය ජනතා පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයේ තේමාව විය. ජම්මු කාශ්මීරයේ පවතින අර්බුදයට පැහැදිලි විසඳුමක් දීමටත්, ගොවීන්ගේ ආදායම දෙගුණයක් කිරීමටත් භාරතීය ජනතා පක්ෂය ලබා දී ඇති ඡන්ද පොරොන්දුය.

යළි ජනවරමක් හිමිවුවහොත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින්, ලෝක් සභාවට පමණක් නොව, ප්‍රාන්ත සභාවලට ද වැඩි කාන්තා නියෝජනයක් එක් කර ගැනීමට පියවර ගන්නා බව ද භාරතීය ජනතා පක්ෂය පොරොන්දු වී ඇත. මේ අතර, කොංග්‍රස් පක්ෂය ඉදිරිපත් කළ ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශයේ කැපී පෙණුනේ, අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් මාසයකට රුපියල් 6,000 ක දිමනාවක් දීම පමණි.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS