මුගාබේ හමුදා අත්අඩංගුවේ



හමුදාව පිළිගැනීමට අදිමදි කළත්, අප්‍රිකාවට අයත් සිම්බාබ්වේ රාජ්‍යයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවිය. එය ආරම්භ වූයේ හමුදාව සිම්බාවේ ජාතික ගුවන් විදුලියත්, ඉන්පසු ජාතික රූපවාහිනියත් ඔවුන්ගේ ග්‍රහණයට ගැනීමත් සමඟය.

හමුදා සොල්දාදුවෝ යුද ටැංකි, ජිප් සහ ට්‍රක් රථවලින් පැමිණ හරාරේ අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වැටැලූහ. ප්‍රධාන මාර්ග සියල්ල අවහිර කළහ. ජනතාවට දැනුම් දුන්නේ සන්සුන්ව සාමකාමීව නිවෙස්වලට වී සිටින ලෙසය.

93 හැවිරිදි රොබට් මුගාබේ හමුදා අත්අඩංගුවට ගැණුනු අතර ඔහු නිවාස අඩස්සියට පත් කෙරුණු බව පැවැසිණි. මුගාබේ බිරිය ග්‍රෙස් නැමීබියාවට පලා ගියේ යැයි පැවැසිණි.

විදෙස් පුවත් සේවා වාර්තා කළේ කිසිදු ලේ වැගිරීමකින් තොරව හමුදාව රටේ බලය අල්ලා ගත් බවය. රටේ පාලනය තම ග්‍රහණයට ගත් නමුත් එය හමුදා කුමන්ත්‍රණයක් නොවේ යැයි සිම්බාබ්වේ හමුදාව පැවැසීය.

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ වටා එක්රොක් වී සිටින දූෂණ වංචා චෝදනා එල්ල වුණු ඇමැතිවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ගත් පියවරක් ලෙස මෙය සැළකෙන බවත් මෙය හමුදා කුමන්ත්‍රණයක් නොවන බවත් සිම්බාබ්බේ හමුදාව වෙනුවෙන්  නිවේදනය කළේ හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් සිබුසියෝ මෝයෝ එරට රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමිනි. 

‘හමුදාව මේක හමුදා කුමන්ත්‍රණයක් විදියට හඳුන්වා දෙන්නේ නැහැ. හමුදා කුමන්ත්‍රණයක් සිදුවුණා කීවොත්, ඒක රටට අහිතකරයි. ඒ නිසා ඔවුන් ඒ වදන භාවිතා කරන්නේ නැහැ. සිදුවී ඇති දේවල් සළකා බැලීමේදී මුගාබේ නිවාස අඩස්සියට ගෙන තිබෙනවා. ජනපති සතු සියලු බලතල දැන් ඇත්තේ හමුදාව යටතේ.’ යැයි සිම්බාබ්බේ හිටපු විපක්ෂ නායක මෙන්ම එරට අගමැතිවරයකු ලෙස ද කටයුතු කළ මෝගන් ස්වන්ගිරායිගේ උපදේශකවරයකු ලෙස කටයුතු කළ ඇලෙක්ස් මෙගාසියා බී.බී.සී. පුවත් සේවයට අදහස් දක්වමින් පවසා තිබේ.

‘අප්‍රිකා රටක හමුදාවක්, එරට රජයේ ගුවන් විදුලිය සහ රූපවාහිනිය බලෙන් අත්පත් කරගෙන රට වැසියන්ට කියනවා නම් මේ විදියට හිතන්න මේ විදියට හැසිරෙන්න. පැහැදිලියි ඒක හමුදා කුමන්ත්‍රණයක් තමා. සිම්බාබ්වේ රටේ සිදුවුණෙත් එහෙම දෙයක්.’ යැයි බටහිර දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

හමුදා කුමන්ත්‍රණයට හේතුවක් වූයේ ජනපති මුගාබේ විසින්, දීර්ඝ කාලයක් තිස්සේ ඔහුගේ සමීපතම සගයා මෙන්ම, උප ජනාධිපතිවරයා ලෙස ද කටයුතු කළ 75 හැවිරිදි එමර්සන් මුනගැග්වා මීට මාසයකට පෙර බලයෙන් නෙරපා දැමීමේ සිදුවීමය.

එමර්සන් මුනගැග්වා බලයෙන් නෙරපා දැමීමට මුගාබේ කටයුතු කළේ ඔහු රජය පෙරැළීමට කුමන්ත්‍රණය කරනවා යැයි චෝදනා කරමිනි. මුගාබේ සහ එමර්සන් මුනගැග්වා අතර පැවැති ගැටුම හේතුවෙන් පාලක පක්ෂය වන සානු දේශප්‍රේමී පෙරමුණේ ද බෙදීමක් නිර්මාණය විය. මුගාබේ නිවාස අඩස්සියට ගත් අවස්ථාවේදී ධුරයෙන් නෙරපා දැමීමෙන් පසු රටින් පිටුවහල් වී සිටි මුනගැග්වා යළි සිම්බාබ්වේ රාජ්‍යයට පැමිණි බව ද වාර්තා විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS