මිලියන 1.24 ක් වායු දූෂණයෙන් මැරිලා



ඉන්දියාවේ ප්‍රධාන නගර කේන්ද්‍රකොට ගනිමින් වායු දූෂණය දිනෙන් දින ඉහවහා යන බවත්, 2017 වසරේ පමණක් වායු දූෂණයෙන් ස්වසනාබාධවලට ලක් වී, මිලියන 1.24 ක් මියගොස් ඇතැයි අනාවරණය වී ඇත.

මේ බව අනාවරණය වී ඇත්තේ, ‘ලැන්සෙට් ප්ලැනටරි හෙල්ත්’ සඟරාව නිකුත් කළ වාර්තාවක් මගිනි. එසේ මියගිය පිරිස අතරින් සියයට 51 ක් වයස අවුරැදු 70 ට අඩු අය බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

6,70,000 ක පිරිසක් සෘජුව වාහනවලින් සහ කර්මාන්තශාලාවලින් පිටවන විස දුම්වලින් රෝගී වී මියගොස් ඇති බවත්, 4,80,000 ක පිරිසක් නිවසේ ඉයුම් පිසුම්වලදී සිදුවන වායු දූෂණයෙන් මියගොස් ඇති බවත් සිදු කළ පරීක්ෂණවලදී පැහැදිලි වුණැයි ‘ලැන්සෙට් ප්ලැනටරි හෙල්ත්’ සඟරාව පෙන්වා දෙයි.

ලොව වායු දූෂණය අතින් ඉදිරියෙන්ම සිටින නගරයක් ලෙස සැලකෙන්නේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවරය. දිල්ලි ප්‍රාන්ත රජය ඩීසල් වාහන අවම කිරීමටත්, නගරයට දිනපතා පපැමිණෙන සෙසු රථ වාහන අවම කිරීමටත් පියවර ගෙන ඇත්තේ මේ නිසාය.

නවදිල්ලි අගනුවර ඇත්තේ ඉන්දියාවේ උතුරු දෙසය. මේ වනවිට උතුරු දෙසින් ඇති සෙසු නගර දක්වා ද වායු දූෂණය පැතිර ගොස් ඇතැයි ‘ලැන්සෙට් ප්ලැනටරි හෙල්ත්’ සඟරාව පෙන්වා දෙයි.

2017 සිදුවුණු මරණ සංඛාව අභිබවා මරණ මෙම වසරේ දී වාර්තා වීමේ අවදානමක් පවතින බව ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS