මිනියැපොලිස් යුද පිටියක් වෙයි



සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩන්තේට්ටම්වලට ලක්වීමෙන් 46 හැවිරිදි ජෝජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතික තරුණයා මියයෑමේ සිදුවීම මුල්කොට ගනිමින් මිනසෝටා ජනපදයේ මිනියැපොලිස් නුවර විරෝධතා ආරම්භ වී ඇති අතර, විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිස්ය මැදිහත් වීමත් සමඟ දෙපාර්ශ්වය අතර දරුණු ගැටුම් හටගෙන ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ගතවුණු පැය 24 ක කාලය මිනියැපොලිස් නගරය එකම යුද පිටියක් වූ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. කලහකාරී හැසිරුණු පිරිස් රජයේ ගොඩනැගිලිවලට පහර දුන් අතර කඩසාප්පු කොල්ල කෑමට ද පටන් ගත්ත. පොලිස්ය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ නමුත් කලහකාරීන් පාලනය කිරීමට නොහැකි විය. කලහකාරීව හැසිරුණු පිරිසට කළු ජාතිකයන් පමණක් නොව සුදු ජාතිකයෝ ද එක් වී සිටියහ.

නගරයේ තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වූ හෙයින් හමුදාව කැඳවීමට බලධාරීන්ට සිදුවිය. මිනියැපොලිස් පමණක් නොව, ජෝජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට විරෝධය පළ කරමින්, ඉලිනෝයි ජනපදයේ චිකාගෝ නුවර, කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර සහ ටෙනිසි ජනපදයේ මෙම්පස් නුවර ද විරෝධතා පැවැත්විණි.

පසුගිය දා ජෝජ් ෆොයිඩ් අත්අඩංගුවට ගැනීම සිදුවූයේ සුදු ජාතික පොලිස් නිලධාරීන් තිදෙනකු මැදිහත් වෙමිනි. එම අවස්ථාවේ ෆොයිඩ් සිටියේ නිරායුධවය. බිම දිගා වෙන්නැයි ෆොයිඩ් ට නියෝග කළ එක් පොලිස් නිලධාරියකු ඔහුගේ පිටට නැග බෙල්ල දණිස්සෙන් තද කරගෙන ඔහු යටත් කර ගත්තේය.

තමන්ට හුස්ම ගන්න අමාරු යැයි ෆොයිඩ් දිගින් දිගටම පවසා ඇති නමුත් පොලිස් නිලධාරියා ඒ ගැන තැනීමක් කර නැත. ෆොයිඩ් හුස්ම හිරවී එම අවස්ථාවේදී මියගියේය. මෙම සිදුවීමේ දසුන් මේ වනවිට ඇමෙරිකන් පුවත් සේවා හරහා ලොව පුරා ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.

මිනියැපොලිස් පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නගරාධිපති ජේකොබ් ෆේ ගේ පවා අප්‍රසාදයට හේතුවක් වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් එෆ්.බී.අයි. පරීක්ෂණයක් ද පැවැත්වෙයි. විරෝධතා ආරම්භ වූයේ එවැනි පසුබිමක් තුළදී යැයි ඇමෙරිකන් පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කර තිබේ.

මිනියැපොලිස්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS