මහ මැතිවරණය අද



පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් 225 දෙනකු තෝරාගැනීම වෙනුවෙන් වන පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020 ඡන්ද විමසීම දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,895 කදී අද (5) උදෑසන 7.00 සිට සිදුකෙරේ.

එක් කෝටි හැට දෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසුවක් වන ජන්ද දායකයින් මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලබා ඇත.

ඡන්ද විමසීම අද (5) පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වෙන අතර පස්වරු 4 සිට 5 දක්වා කාලය වෙන්කර ඇත්තේ කොරෝනා වසංගතය නිසා නිවෙස්වල නිරෝධායනයට ලක් කර සිටින පිරිස්වලට ඡන්දය ප්‍රකාශය කිරීම සඳහාය.

 මෙවර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඡන්ද විමසීම සිදුවන්නේ විශේෂ සෞඛ්‍ය නිර්දේශ යටතේය.

ඡන්දය ගණන් කිරීම ද අද (5) දිනයේදී සිදුනොවන අතර හෙට (6) පෙරවරුවේ ඡන්දය ගණන් කිරීම ආරම්භ කිරීමට නියමිතය.

මෙවර ඡන්ද විමසීම සෞඛ්‍යාරක්ෂිතව සිදුවන්නේ මෙසේය.

ඡන්ද දායකයින් ඡන්ද මධ්‍යස්ථානයට එනවිට මුහුණු ආවරණය පැළඳ සිටීම අත්‍යාවශ්‍ය වන අතර ඔවුන් ඇතුළු වන විටම අත් පිරිසිඳුකාරකයකින් oEත් පිරිසිඳු කිරීම සිදුවේ. ඉන්පසු එහි සිටින පළමු නිලධාරියාට තම හැඳුනුම්පත පෙන්වා මුහුණු ආවරණය පසෙකට කර අනන්‍යතාව තහවුරු කළ යුතුය. ඉන්පසුත් යළිත් අත් පිරිසිඳුකාරක ලබා දී  ඇඟිල්ලේ නොමැගෙන ආලේපනය ගල්වනු ලැබේ. ඒ සඳහා ඉටි තැවරූ කඩදාසි කූරක් භාවිතා කරන අතර එය එක් අයකුට එකක් බැගින් භාවිතා කෙරේ. ඡන්දය ප්‍රකාශ කර මධ්‍යස්ථානයෙන් පිටව යද්දීත් අත් පිරිසිඳු කිරීම සිදුවේ.

හැකි නම් ඡන්දයදීමට යන විට නිල් හෝ කළු පැහැ පෑනක් රැගෙන එන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනතාවයගෙන් ඉල්ලීමක් කරයි. නොගෙනෙන අයට විෂබීජ නාශකවලින් පිරිසිඳු කළ පෑනක් ලබාදේ. ඡන්ද දායකයන් අනිවාර්යයෙන්ම පිළිගත් හැඳුනුම්පතක් රැ‍ගෙන ආ යුතු අතර ඡන්ද මධ්‍යස්ථානයේදී සැමවිටම මීටරයක පරතරය පවත්වා ගැනීමටත් කටයුතු කළ යුතුයි.

ඒ වගේම ඡන්ද පත්‍රිකාව ලැබුණු පසු පක්‍ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ සලකුණ ඉදිරියේ කතිරය ලකුණු කර ඉන්පසු පහළ ඇති මනාප අංක මත උපරිම තුනක් වන පරිදි කතිර ගැසිය හැකි අතර ඉන්පසු හොඳින් නවා ඡන්ද පත්‍රිකාව පෙට්ටියට දමා ඡන්දපොල අවට රැඳී නොසිට හැකි ඉක්මනින් නිවසට හෝ රැකියා ස්ථානයට යන ලෙසත් මැතිවරණ කොමිසම ඉල්ලා සිටී.

(ඩයනා උදයංගනී)

මෙවර මහ මැතිවරණයේ ඡන්ද විමසීම සෞඛ්‍යාරක්ෂිතව සිදුකෙරෙන ආකාරය පැහැදිලි කිරීම සඳහා පසුගිය දිනවල ‍ආදර්ශ ඡන්ද විමසීම් කිහිපයක් ද පැවැත්විණි. එම ඡන්ද විමසීම්වල දී ලබාගත් ඡායාරූප පහත වේ.

ඡායාරූප - ළහිරු හර්ෂණ


RECOMMEND POSTS