මරණ දණ්ඩනයට නියමවී උපාධිය ලබයි



මරණ දණ්ඩනය නියම වී වැලිකඩ බන්ධනාගාරයේ සිටිමින් තම උපාධිය හැදෑරූ ලක්මිණ ඉන්දික බමුණුසිංහ නැමති රැදවියා පසුගිය දා කැලණිය විශ්ව විද්‍යාලයෙන් සිය පශ්චාත් උපාධිය ලබාගත්තේය.

කොළඹ, බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණු කැලණි විශ්ව විද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවයේදී ඔහු මෙලෙස පශ්චාත් උපාධිය ලැබීය.

මෙලෙස බන්ධනාගාරගතව සිටිමින් පශ්චාත් උපාධියක් ලබාගත් මෙරට ප්‍රථම රැදවියා සහ ලොව 5 වන රැදවියා වන්නේද ඔහු බව වාර්තා වේ.

ප්‍රකට ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතන සිද්ධියට වරදකරු වී මරණ දණ්ඩනය හිමිවී සිටින ඉන්දික බමුණුසිංහ 2016 වසරේදී  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බාහිර අයදුම්කරුවකු ලෙස ලියාපදිංචි වී සිංහල, බෞද්ධ සංස්කෘතිය, සමාජ විද්‍යාව සහ  අපරාධ විද්‍යාව විෂයයන් හදාරා ශාස්ත්‍රවේදී උපාධිය ලබාගෙන ඇති අතර පශ්චාත් උපාධිය සඳහා කැලණිය විශ්ව විද්‍යාලයේ බාහිර අයදුම්කරුවකු ලෙස ලියාපදිංචි වී තිබේ.

ඔහු ඒ සඳහා හදාරා ඇත්තේ සමාජ විද්‍යාව, සංවර්ධන සමාජ විද්‍යාව, සංයුක්ත සමාජ විද්‍යාව හා සමකාලීන සමාජ විද්‍යාව යන විෂයන්ය.

ඔහු සිය ශාස්ත්‍රපති උපාධියට සකසා ඇති නිබන්ධනයෙහි තේමාව වී ඇත්තේ  'ලංකාවේ සංවිධානාත්මක අපරාධ' යන්නයි.

මෙම නිබන්ධනය සැකසීම සඳහා සහය ලබාදෙන ලෙස ඔහු ජනාධිපතිවරයා හමුවී මීට කලකට පෙර ඉල්ලීමක් කර තිබූ අතර ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති අරමුදලින් ඔහුට එම මුදල් ලබාදී තිබිණි.

මීට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් ඔහුට ලැප්ටොප් පරිගණකයක්ද ලබා දී ඇත.

ඔහුට අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය පහසුකම් සලසාදී ඇත්තේ බන්ධනාගාර පුනරුත්ථාපන අංශය මගිනි.

ශාස්ත්‍රපති උපාධියට ඔහුට අවශ්‍ය සටහන් ලබා දී ඇත්තේ ඔහුගේ බිරිඳ අදාළ දේශනවලට සම්බන්ධ විමෙනි.

ඇය එම දේශනවලට සහභාගී වී ඒවා පටිගතකර බන්ධනාගාර නීති රීතිවලට අනුව එම පටිගත කිරීම් ඔහු වෙත ලබා දී තිබේ.

බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන හා නිපුනතා සංවර්ධන) චන්දන ඒකනායක මහතාගේ උපදෙස් අනුව පුනරුත්ථාපන අංශය මගින් එම උපාධිය සඳහා අවශ්‍ය පොත්පත් පුද්ගලයන්ගෙන් සහ පුස්තකාලයන් මගින් ඔහු වෙත ලබා දීමටද කටයුතු යොදා තිබී ඇත.

නුගේගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලක පාසලක අධ්‍යාපනය ලැබූ ඉන්දික ශ්‍රී ලංකා පොලිසියේ උප පොලිස් පරික්ෂකයකු ලෙස සේවයට එක්වූයේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහිර උපාධිය හැදෑරීම සඳහා වසර 2012 දී ලියාපදිංචි වූවද දෛවයේ සරදමකට ඔහුට යන්නට වූයේ  සිපිරිගෙදරටය.

සියාම් ඝාතන නඩුවේ විත්තිකරුවකුවී මරණ දණ්ඩනය හිමිවුණද සිරකුටියකට වි නිකරුනේ කාලය ගත නොකොට ඔහු තම උපාධිය සම්පූර්ණ කරගන්නට කටයුතු කළේය.

ඩයනා උදයංගනී


RECOMMEND POSTS