බොරු නඩු දැම්මාට ලක්ෂ 7 ක්



සෞදි අරාබියේ ගෘහ රියැදුරකු සේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු අසත්‍ය චෝදනා නගමින් සිරගත කළ හාම්පුතාගෙන් රුපියල් හත් ලක්ෂයක් වන්දි ලෙස ලබා ගත හැකි වී ඇතැයි විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.

වැලිමඩ, ලන්දේගම, නො.37 ලිපිනයේ පදිංචි එම්.මොහොම්මදු හසීම් මහතා සෞදි අරාබියේ ගෘහස්ථ රියදුරෙකු ලෙස සේවයට ගොස් ඇති අතර එහිදී ඔහු සේවය කළ මාස 15ක් සඳහා වැටුප් ලබා දී නැත. වැටුප් ඉල්ලා සිටි අවස්ථාවේ හාම්පුතා විසින් බොරු චෝදනා එල්ල කර නඩු පැවරීම හේතුවෙන් මාස 3යි දින 11 ක් සිර දඬුවම් නියම කර ඇත.

ඔහුට වැටුප් ලබා නොදිම සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් කාර්යාංශයට පැමිණිලි කර ඇති අතර ඔහු සිරගතව සිටියදීම කම්කරු උසාවියේ පැවති නඩු විභාගයෙන් අනතුරුව සේවක මහතාට හිමි හිඟ වැටුප් වශයෙන් සෞදි රියාල් 18850 ක මුදලක් හිමිවූ අතර දඬුවම අවසන්ව ඔහු නැවත දිවයිනට පැමිණියේය.

හසීම් මහතා මාස 3 දින 11ක් අසත්‍ය චෝදනා මත සිරගත කිරීම පිළිබඳව තොරතුරු දැනගත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය විසින් සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලබාදුන් උපදෙස් අනුව බොරු චෝදනා එල්ල කර සිරගත කිරීම හේතුවෙන් ඔහුට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා නඩු පවරන ලදී.

හසීම් මහතා නොමැතිව එරට අධිකරණයේ නඩුව විභාග කළ අතර, ඉකුත් අගෝස්තු 21 දින සෞදි අධිකරණය විසින් බොරු චෝදනා මත සිරගතවීමෙන් ඔහුට සිදුවූ හානිය වෙනුවෙන් ඔහු සේවය කළ නිවසේ හාම්පුතාට සෞදි රියාල් 19850ක මුදලක් ගෙවන ලෙස නියෝග කර ඇත.

හසීම් මහතා මෙරට සිටියදී අබුඩාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත්ව මෙම නඩුව පවරා ඇති අතර ඒ අනුව එසේ ලබාගත් මුදල අමාත්‍යතුමිය අතින් අද (11) හසීම් මහතාට ලබාදෙන ලදී.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය මෙවැනි අසත්‍ය චෝදනා එල්ල කිරීම හේතුවෙන් අසාධාරණයට ලක්වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් තමන් ඕනෑම මොහොතක පෙනී සිටින බවත්, හසීම් මහතාට සාධාරණය ඉටුකර ගැනීම වෙනුවෙන් කටයුතු කළ තානාපති කාර්යාලයේ නිළධාරීන්ට සිය ස්තූතිය පළකරන බවත් පැවැසුවාය.

මෙම ක්‍රියාව අනෙකුත් තානාපති කාර්යාල නිළධාරීන්ද ආදර්ශයට ගෙන කටයුතු කර ලාංකික ශ්‍රමිකයින්ට සිදුවන අසාධාරණකම් වෙනුවෙන්  පෙනී සිටිය යුතු බවත් අමාත්‍යතුමිය සඳහන් කළාය. ඒ සඳහා අවශ්‍ය සියළු පහසුකම් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ රැකියා අමාත්‍යංශයත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් සපයන බවද අමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.

හසීම් මහතාට මෙම වන්දි මුදල් ලබාගැනීම සඳහා සෞදියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු උපදේශක ඉන්දික තිලකරත්න මහතා හා තෙවන ලේකම් අයි.එල්.උමර් මහතා දැඩි කැපවීමෙන් කටයුතු කරන ලදී.

විනීතා එම්. ගමගේ

 


RECOMMEND POSTS