බින් ලාඩන්ගේ පුතෙක් ලෝක ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට



අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩන්ගේ පුතෙකු ගෝලීය ත්‍රස්තවාදියකු ලෙස නම් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද රජය කටයුතු කරන ලදි. 

ඒ අනුව ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ විදෙස් ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට ඇතුළත් කරන ලදි. එම තීරණයත් සමඟ හම්සා බින් ලාඩන් ට ඇමෙරිකා එක්සත් ජනපදයේ මූල්‍ය පද්ධතියට ඇතුළුවීම තහනම් කෙරෙන අතර අතර ඔහු ගෝලීය ත්‍රස්තවාදියකු ලෙස නම් කරන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය හා භාණ්ඩාගාර දෙපාර්තමේන්තු නිවේදනය කළේය. 

අවුරුදු 20ත් 30ත් වයසේ පසුවන බව පැවසෙන හම්සා බින් ලාඩන්, බින් ලාඩන්ගේ ඝාතනයෙන් පසු අල් කයිඩා සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයකු බවට පත්විය. ඇමෙරිකා එක්සත් ජනපද විශේෂ බලකා 2011 වසරේ මැයි 2 වැනිදා පාකිස්තානයේ ඇබොටාබාද්හිදී බින් ලාඩන් ඝාතනය කළේය. 

ඔසාමා බින් ලාඩන්ගේ ඝාතනයෙන් පසු ඊජිප්ත-ු ජාතික අයිමාන් අල් සවාහිරි අල් කයිඩා සංවිධානයේ නායකත්වය පත්විය. හම්සා මේ වනවිට තම සහායකයන්ට හඬ පටයක් ද නිකුත් කර ඇතැයි වාර්තා වේ. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව හම්සා නිල වශයෙන් අල් කයිඩා සංවිධානයේ සාමාජිකයකුට බවට පත්ව ඇත්තේ 2015 වසරේදීය. 

අල් කයිඩා සංවිධානයේ 2015 වසරේ අගෝස්ත-ු මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයටත් ඔවුන්ගේ මිතුරන්ට ප්‍රහාර එල්ල කරන බව පවසමින් හඬ පටයක් නිකුත් කළ අතර එය ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයකු වන හම්සා විසින් නිකුත් කරන ලද්දක් යැයි සැකකෙරේ. 

අල් කයිඩා සංවිධානයේ නිර්මාතෘවරයා වශයෙන් සැලකෙන්නේ ඔසාමා බින් ලාඩන්ය. එතෙක් මෙතෙක් ඉතිහාසයේ දී ඇමෙරිකා එක්සත් ජනපදයට එල්ල වූ දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකෙන 2001 සැප්තැම්බර් 11 වැනිදා ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන්නේ ඔසාමා බින් ලාඩන්ය. 

ඔසාමා බින් ලාඩන් ඝාතනය වන අවස්ථාවේදී හම්සා බින් ලාඩන් ඉරාන අත්අඩංගුවේ සිටි බව පැවසේ. හම්සා ඔසාමා බින් ලාඩන්ට ලිපි යොමු කරමින් ඔහු වැන්නකු වීම සඳහා තමා පුහුණ කරන ලෙස තම පියාගෙන් ඉල්ලා ඇතැයි ඇබොටාබාද්හිදී ඇමෙරිකා හමුදා සොයාගත් ලිපිලේඛනවලින් අනාවරණය විය. 

හම්සා අල් කයිඩා සංවිධානයට නව ආරම්භයක් ගෙන දෙනු ඇතැයි ද ඔහු ලෝකයට නව තර්ජනයක් යැයි ද බෲකින් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනයේ විශ්ලේෂකයකු වන බෲස් රීඩල් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි. 

 

වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)


RECOMMEND POSTS