බාසිලෝනා නුවරට ත්‍රස්ත ප්‍රහාරයක්



ත්‍රස්තයන් පැදැවූ සුදු පැහැති වෑන් රියක්, ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර පදිකයන් අතරට කඩා වැදීමෙන්, ඊට යටවී 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල් ගත කෙරුණු ගණන 84 කි.

අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම බාර ගත්තේය. 2004 වසරෙන් පසු ස්පාඤ්ඤයට එල්ල වුණු පළමු ත්‍රස්ත ප්‍රහාරය මෙය යැයි ද පැවැසෙයි.

වෑන් රිය කඩා වැදුණේ ස්පාඤ්ඤ වේලාවෙන් සවස පහට පමණ බාසෙලෝනා නුවර ලස් රම්බ්ලාස් දිස්ත්‍රික්කයේ පදික වේදිකාවකටය. මෙම දිස්ත්‍රික්කයක විදෙස් සංචාරකයන් අතරේ ප්‍රකටය.

දකින දකින සැවොම යට කර දැමීමට වෑන් රියේ රියැදුරු උත්සාහ කළ බව සිද්ධිය දුටුවෝ පවසති. යාර 500 ක දුරක් ධාවනය කිරීමෙන් පසු, රියැදුරා ඔහුගේ සහායකයා ද සමඟ වෑන් රිය අතහැර දමා පලා ගිය බව පැවැසෙයි.

බාසිලෝනා නුවර අයත් වන්නේ කැටලාන් පළාතටය. කැටලානා පොලිසිය වහා ක්‍රියාත්මක වී, ලස් රම්බ්ලාස් දිස්ත්‍රික්කයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගත් අතර, පලා යමින් සිටි ත්‍රස්තවාදීන් අල්ලා ගැනීමට ද උත්සාහ දැරීය.

ගොඩනැගිලි කඩසාප්පු ආදී සියල්ල සෝදිසි කෙරුණි. ස්පාඤ්ඤ වැසියන් පමණක් නොව, විදෙස් සංචාරකයෝ ද බියනේ තැතිගෙන අවන්හල් සහ කාර්යාල ගොඩනැගිලි තුළ සැඟවී සිටියහ. පොලිසිය පැවැසුවේ සෝදිසි කිරීම්වලදී සැක පිට පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවය.

පොලිසිය පසුව නිවේදනය කළේ මොරොක්කෝ සම්භවයක් සහිත 20 හැවිරිදි ඩි්‍රස් ඔව්කබීර් නමැත්තා ද අත්අඩංගුවට ගත් බවය. මොහු පොලිසියට පැමිණ බාර වුණැයි ද පැවැසෙයි. ප්‍රහාරයට තමා ද සම්බන්ධ යැයි ඩි්‍රස් ඔව්කබීර් පවසා ඇත. ඔව්කබීර් පොලිසියට බාර වී ඇත්තේ ඔහු පදිංචි ගිනෝරා පළාතේ රිපෝල් නගරයේදීය. මෙම නගරය පිහිටා ඇත්තේ බාසිලෝනා සිට සැතපුම් 65 ක් දුරිනි.

බාසිලෝනා නුවරට සැතපුම් 50 ක් පමණ දුරින් පොලිසියට තවත් සුදු වෑන් රියක් හමුවිය. ඒ, බාසිලෝනා නුවර උතුරු දෙසිනි. ත්‍රස්තවාදීන් පලා යෑමට සූදානමින් තබා ගත්තේ මෙම වෑන් රිය යැයි ද පැවැසෙයි.

ප්‍රහාරයේ වගකීම බාර ගනිමින් අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය ප්‍රකාශයක් නිකුත් කළේ ඔවුන්ට හිතවත් ‘ආමාක්’ පුවත් වෙබ් අඩවිය ඔස්සේය. සිරියාවේ සහ ඉරාකයේ තම සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන විදෙස් හමුදාවලට ස්පාඤ්ඤය සහාය පළ කරන හෙයින් බාසිලෝනා ත්‍රස්ත ප්‍රහාරය සිදු කළ බව අයි.එස්. සංවිධානය එම නිවේදනය හරහා පවසා තිබේ.

මීට අමතරව, සැන් ඩෙස්වර්න් නමැති පළාතේ මෝටර් රථයක් පොලිස් මුරපොළකට කඩා වැදී එහි සිටි පොලිස් නිලධාරීන් යට කිරීමට උත්සාහ කළ බව ද පැවැසෙයි. එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වුණු පොලිස් නිලධාරීහු මෝටර් රථයේ රියැදුරුට වෙඩි තැබුවේය. රියැදුරා සහ ඔහු සමඟ සිටි තවත් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වුණු අතර පොලිස් නිලධාරීන්ට අනතුරක් නොවිණි.

මෙම සිද්ධිය සිදුවී ඇත්තේ ස්පාඤ්ඤ වේලාවෙන් රාත්‍රී 7.24 ට පමණි. කෙසේ නමුත් මෙම සිද්ධිය සහ වෑන් රථය පදිකයන් යට කිරීමේ සිද්ධිය අතරේ සම්බන්ධයක් ඇතැයි මෙතෙක් තහවුරු වී නැත. පරීක්ෂණ කටයුතු දිගටම සිදුවෙයි. එම සිද්ධිය සම්බන්ධයෙන් ස්පාඤ්ඤ මාධ්‍ය වාර්තා කළේ දෙවැනි ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පොලිසිය සමත් වුණු බවය.

බාසිලෝනා නුවරට එල්ලවුණු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, බි්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, යුරෝපා කොමිසමේ සභාපති ජෝන් ක්ලෝඞ් ජන්කර් පමණක් නොව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ද ට්විටර් පණිවුඩ හරහා අදහස් දැක්වූහ. ඔවුන් සැවොම ත්‍රස්ත ප්‍රහාරය හෙළා දැකීමට කටයුතු කළහ.

ජනාධිපති ට්‍රම්ප් ස්පාඤ්ඤ රජයට දැනුම් දුන්නේ, හැකි සෑම උදව්වක් කිරීමට ඇමෙරිකාව සැදී පැහැදී සිටින බවය. මෙම අවස්ථාවේ ශක්තිමත්ව නැගී සිටින්නැයි ද ට්‍රම්ප් ස්පාඤ්ඤ වැසියන්ට කියා සිටියේය. ‘සැලෙන්න එපා. ශක්තිමත්ව ඉන්න. අපි ඔබට ආදරෙයි’ ට්‍රම්ප්ගේ පණිවුඩය අවසානයේ සඳහන් විය. 2004 වසරේ ස්පාඤ්ඤයට එල්ල වූයේ අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරයකි. ඒ, ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නුවර මගී දුම්රිය ඉලක්ක කර ගනිමිනි. එම ප්‍රහාරයෙන් 192 ක් ජීවිතක්ෂයට පත්වූහ.

(රොයිටර්/ඬේලිමේල්)


RECOMMEND POSTS