බ්ලැක් පැන්තර් සමුගනී



මාවල් සුපිරි වීරයකු වන බ්ලැක් පැන්තර්ගේ චරිතයට පණ පොවමින්, ලොව පුරා ලොකු කුඩා කාගේත් ආදරයට පාත්‍ර වූ හොලිවුඩ් නළු චැඩ්වික් බෝස්මන් පසුගිය දා දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 43 කි.

බෝස්මන්, මහ මඩවැලේ ඇතිවූ පිළිකා තත්ත්වයක් හේතුවෙන් වසර ගණනක් පීඩා විදි අයෙකි. පිළිකා තත්ත්වය පිළිබද වෛද්‍යවරුන් අනාවරණය කළේ 2016 දීය. බෝස්මන් රංගන කටයුතුවල නියැලුණේ ද කීමෝ ප්‍රතිකාර ලබා ගනිමින්, සැත්නම්වලට භාජන වෙමිනි. ඒ, ඔබ රසික රසිකාවියන් දැන ගත්තේ පසුවය. බෝස්මන් පිළිකා රෝගියකු බව දැන සිටියේ ඔහුගේ බිරිඳ ඇතුළු කීපදෙනකු පමණි.

වසර 4 ක් තිස්සේ බෝස්මන් සිය රෝගී තත්ත්වය සමඟ නිහඬව සටන් වැදුණු බව බොස්මන්ගේ බිරි‍ඳ පවසයි. බොස්මන්, ලොස් ඇන්ජලීස් නුවර සිය නිවසේ දී අවසන් සුසුම් හෙලද්දී, බිරිඳ සහ පවුලේ සාමාජිකයන් ඔහු අසල සිටි බව හොලිවුඩ් පුරයෙන් වාර්තා වෙයි. බෝස්මන් උපන්නේ 1976 නොවැම්බර් 26 වැනිදාය. ඔහු රංගනයට පිවිසියේ 2003 දීය. ඒ, රූපවාහිනී නළුවකු ලෙසිණි. බෝස්මන් රංගන ශිල්පියකු ලෙස රසික රසිකාවියන්ගේත් සිනමා විචාරකයන්ගේත් පැසැසුමට ලක් වූයේ සිනමාවට නැගුණු සැබෑ චරිත කීපයකට පණ පොවමිනි. බොස්මන්ට ගුරු හරුකුම් කියා දුන්නේ තවත් ජනප්‍රිය මෙන්ම සම්මානනීය හොලිවුඩ් නළුවෙකි. ඔහු ඩෙන්සල් වොෂින්ටන්ය. ​‘ඩෙන්සල් වොෂින්ටන් නැතිනම් අද චැඩ්වික් බෝස්මන් කෙනෙකු නැහැ’ යනුවෙන් වරක් බෝස්මන් මාධ්‍ය හමුවේ පවසා තිබුණි.

2013 දී තිරගතවුණු '42' චිත්‍රපටයේ ජැකී රොබින්සන්ගේ චරිතයට පණ පෙව්වේය. ජැකී රොබින්සන් යනු ඇමෙරිකාවේ අතිවිශිෂ්ට කළු ජාතික බේස්බෝල් ක්‍රීඩකයාය. 2014 දී ඇමෙරිකන් කළු ගායක ටෘගුඩ් මාෂල්ගේ චරිතය ඇසුරින් 'මාෂල්' චිත්‍රපටය නිර්මාණය විය. එම  චිත්‍රපටයේ මාෂල්ගේ චරිතයට පණ පොවන්නේ බෝස්මන් ය.

මාවල් වීරයා වන බ්ලැක් පැන්තර් සහ ටිචාලා රජුගේ චරිතයට පණ පොවමින් බෝස්මන් කළ අපූරු රංගනය සදා අමරණීයය. 2016 දී 'කැප්ටන් ඇමෙරිකා සිවිල් වෝ', 2018 දී  'බ්ලැක් පැන්තර්' සහ 'ඇවෙන්ජර්ස් ඉන්ෆිනිට් වෝර්' ච්‍ත්‍රපටවලත් 2019 දී 'ඇවෙන්ජර්ස් ඒන්ඩ්ගේම්' යන චිත්‍රපට හරහා බ්ලැක් පැන්තර්ගේ වික්‍රම දකින්න ලැබුණි.

ඉදිරියේ දී ‘බ්ලැක් පැන්තර් 2’ චිත්‍රපටයත් ඇවෙන්ජර්ස් චිත්‍රපටයේ ඉදිරි චිත්‍රපටත් නිර්මාණය වනු ඇත. ඒවායේ බ්ලැක් පැන්තර් චරිතය සඳහා නව නළුවකු තෝරා ගැනීමට මාවල් චිත්‍රාගාරයට සිදුවනු ඇත. එහෙත්, බ්ලැක් පැන්තර් ලෙස බෝස්මන් කළ රංගනය අසමසම යැයි මාවල් සිනමා ලෝලීන්ගේ අදහස වී තිබේ.

2019 වසරේ '21 බ්‍රිජස්' චිත්‍රපයට බෝස්මන් එක් විය. ඒ, දූෂිත පොලිස් නිලධාරීන් ගැන සොයන පොලිස් නිලධාරියකුගේ චරිතය නිරූපණය කරමිනි. මෙම 2020 දී තිරගත වීමට නියමිත වුවත්, කොරෝනා වසංගතය හේතුවෙන් ප්‍රමාද වූ 'ඩා 5 බ්ලඩ්ස්' යුදමය චිත්‍රපටයට ද බෝස්මන් සම්බන්ධ වී සිටී. බෝස්මන් රසික හදවත් දිනා ගත් සම්මානනීය, සදා අමරණීය නළුවකු පමණක් නොව, චිත්‍රපට නිෂ්පාදවරයකු ද වෙයි.

හොලිවුඩ් නළු නිළියන්, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා, ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත ජෝ බයිඩන් ඇතුළු ජනප්‍රිය චරිත රැසක්, ‘පො​ළොවේ පය ගසා සිටි නිහතමානි රංගන ශිල්පියකු බව පෙන්වා දෙමින්’ බෝස්මන් වෙනුවෙන් සොව පළ කළහ.

ලුසිත ජයමාන්න‍
‍හොලිවුඩ් පුවත් ඇසුරිනි


RECOMMEND POSTS