බ්ලැක් පැන්තරයෙක් ලංකාවේ



ශ්‍රී ලංකාවට ආවේණික වඳවී ගොස් ඇති සත්වයකු බවට සැළකුණු කළු කොටියකු (Black Panther) යළිත් මෙරටින් හමුවී තිබේ.

සිරිපා අඩවිය අවට වනාන්තරයක ජීවත් වන මෙම සත්ත්වයා එහිදී වනජීවී දෙපාර්තමේන්‍තුවේ කැමරාවකට හසුවී තිබේ.

වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් වන මාලක අබේවර්ධන සහ මනෝජ් අකලංක යන මහත්වරුන් විසින් දුරස්ථ චලන කැමරා සවිකරමින් කරන ලද අධ්‍යයනයක දී එක් කැමරාවක මෙම කළු කොටියාගේ දර්ශන පටිගත වී ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.

මෙම කොටියා ගැහැනු සත්වයෙකු බවද වාර්තා වේ.

ලෝකයේ වාර්තාවන කොටි විශේෂ අතරින් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන කොටියා මෙරටට ආවේණික උප විශේෂයක් වන අතර සත්ව විද්‍යාත්මකව පැන්තරා පාඩුස් කොටියා ලෙස හඳුන්වනු ලබයි.

සිරුරේ සාමාන්‍ය වර්ණය ගෙන දෙන වර්ණ දේහයක් ස්වභාවිකවම නොමැතිවීම හේතුවෙන් මෙලනීන් වර්ණකය වැඩි වීම නිසා කළු පැහැති කොටි හෙවත් Black Panther උපත ලබයි.

ඒ අනුව කළු කොටියා යනු වෙනත් කොටි විශේෂයක් නොව මෙරටින් වාර්තාවන පැන්තරා පාඩුස් කොටියා යන උප විශේෂයේම ප්‍රභේදයක් බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඔවුන් ජීවත්වන පරිසරයේ අඳුරු ස්වභාවය හා අඩු උෂ්ණත්වය අනුව ශරීර වර්ණයට අදාල ප්‍රමුඛ ජාන නිලීන වීම නිසා මෙලෙස මෙලනීන් වර්ණකය වැඩි වී තිබෙන බව පර්යේෂකයන්ගේ මතය වී තිබේ.

කළු කොටි කිහිපදෙනකු ශ්‍රී ලංකාවේ වනාන්තර තුළින් වරින් වර වාර්තා වී ඇති අතර 2009 – 2012 කාලයේ දෙනියාය ප්‍රදේශයේදීද මෙම වර්ගයේ ‍කොටියන් හමුවී ඇත.

නමුත්  මීට වසර කිහිපයකට පෙර පිටදෙණිය මාවුල්දෙණිය ප්‍රදේශයේ දී මන්දකට අසුවීමෙන් කළු කොටියකු (කළු දිවියා) මියගිය අතර ඉන් පසු එවැනි සත්වයකු මෙරටින් වාර්තා වී නොතිබිණි.

එම සත්ත්වයාගේ සම සංරක්ෂණය කර කළු කොටි අනුරුවක් සකස් කර ගිරිතලේ වන ජීවී කෞතුකාගාරයේ තැන්පත් කර ඇති අතර එය මෙරටින් වාර්තා වූ අවසන් කළු කොටියාගේ සාක්ෂිය ලෙස ද සැළකිණි. අදටත් එය වනජීවි පුහුණු හා පර්යේෂණ කේන්ද්‍රයේ දක්නට ඇත.

පශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතා පවසන්නේ ට්‍රිපිකල් එකෝ සිස්ටම් රිසර්ච් ආයතනයෙන් පරීක්ෂණ කටයුත සඳහා ලබාදුන් කැමරා ඇතුළු තාක්ෂණික උපකරණ භාවිතයෙන් මෙම සොයා ගැනීම සිදුකළ බවයි.

දැනට ශ්‍රී ලංකාවේ ස්ථාන හයක පමණ කළු කොටි සිටිය හැකි යැයි වාර්තා වී ඇතත් මෙතෙක් පැහැදිලි සාක්ෂියක් ලෙස හමුවී ඇත්තේ මෙම කොටියා පමණි.

මෙය ලෝක වනජීවී ක්ෂේත්‍රයේ ඉතා අද්විතීය සොයා ගැනීමක් ලෙස ද සැළකේ.

පර්යේෂණ කණ්ඩායම සඳහන් කරන්නේ මෙම කොටියා හමුවූ ස්ථානය අවට මෙම ගැහැනු සත්ත්වයාට අමතරව පිරිමි සතකු සහ පැටවුන් දෙදෙනකු ද ගැවසෙන බවට වාර්තා වන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කළු කොටියාගේ වර්ණ ප්‍රභේදයේ නිලීන ජානය මෙරට කොටි ගහනයේ තවදුරටත් සජීවී ජානයක් ලෙස පවතිනු ඇති අතර මෙම සතුන් ඔවුන් ජීවත් වන ප්‍රදේශය තුළම සංරක්ෂණය කිරීම ඉතා වැදගත් වේ.

මෙම ප්‍රදේශය දැඩි සංරක්ෂිත තත්වයකට ගෙන ඒමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS