පුටින්ට විශිෂ්ට ජයක්



කවුරුත් අපේක්ෂා කළ අයුරින්ම, රුසියානු ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට, වත්මන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමත් විය.

ජයග්‍රහණය සඳහා සියයට 50 කට වඩා ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට නියමිතව තිබුණ ද පුටින් ජයග්‍රහණය කළේ සියයට 76 ක ඡන්ද ප්‍රතිශතයකිනි.

රුසියානු ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයෙක් මීට පෙර මෙතරම් ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගෙන නැතැයි රුට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මෙවර ජනපතිවරණය සඳහා රුසියානුවෝ මිලියන 107 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියහ.

ඒ අනුව, ඉදිරි වසර හය පුරාවට එනම් 2024 වසර තෙක් රුසියාවේ ජනාධිපති ධුරය හෙබවීමට පුටින්ට අවස්ථාව උදා වී ඇති බව ද වාර්තා වේ.
මෙවර ජනාධිපතිවරණයේ දී තවත් අපේක්ෂකයෝ 7 දෙනෙක් පුටින්ට අභියෝග කිරීමට පැමිණ සිටියහ. කෙසේ නමුත් ඔවුන් කිසිවකුටවත් පුටින්ට අභියෝගයක් වීමට නොහැකි විය.

පුටින්ට අභියෝගයක් විය හැකි එකම තැනැත්තා රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නැවල්නිය. දේශද්‍රෝහියකු යැයි චෝදනා එල්ල වී  ඊට වරදකරු වී සිටින හෙයින්, මෙවර ජනාධිපතිවරණය නැවල්නිට තහනම් විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS