පාප්තුමන් හමුවෙයි



වතිකානයට පැමිණ සිටින දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්, ශූද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්තුමන් හමුවී, උතුරු කොරියාවට පැමිණෙන්නැයි උතුරු කොරියා නායක කිම් ජොන් උන් කළ ඇරැයුම පාප්තුමන්ට ඉදිරිපත් කළේය.

‘උතුරු කොරියාවේ සංචාරයකට එන්න. උතුරු කොරියා නායක කිම් ජොන් උන් ඔබතුමන්ට ඇරැයුම් කරන්නැයි මට උපදෙස් දුන්නා. ඔහු සූදානමින් ඉන්නවා නිල වශයෙන් ඔබතුමන්ට ඇරැයුමක් එවන්න. එහෙම කළාට කමක් නැද්ද?’ යැයි දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්, ශුද්ධෝත්තම පාප්තුමන්ට පැවැසීය.

‘උතුරු කොරියා නායකතුමා එරටට එන්නැයි ඔබ අතේ මේ විදියට ඇරැයුම් කිරීම පමණක් ප‍්‍රමාණවත්. උතුරු කොරියාවට යන්න මම කැමැත්තෙන් ඉන්නේ. ඒත් වඩා හොඳයි නිල වශයෙන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් මට ලිපියක් එවනවා නම්’ යැයි පාප්තුමෝ පෙරළා පිළිතුරු දුන්හ.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සාමයට කැපවී සිටී. න්‍යෂ්ටික අවිහරණයක් සිදු කරන බවට ඔහු පොරොන්දුවක් ලබා දී ඇති අතර, එම කටයුතු ආරම්භ කර ඇති බව ද පැවැසෙයි.
කිම් ජොන් උන්ට අවශ්‍ය වී ඇත්තේ කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමටය. කිම් ජොන් උන් දකුණු කොරියාව සමඟ පමණක් නොව, ඇමෙරිකාව සමඟ ද යහපත් සබඳතා ආරම්භ කර ඇත.

දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් අවස්ථා දෙකක්දී උතුරු කොරියා නායකයා හමුවී මිතුදම් ශක්තිමත් කර ගෙන ඇත. දකුණු කොරියා ජනාධිපති වතිකානයට පැමිණියේ ප‍්‍රංශයේ පැරිස් නුවරට ගොස් ප‍්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ද හමුවීමෙන් පසුවය. උතුරු කොරියාව සෙසු ලෝකය සමඟ සම්බන්ධ කිරීමෙහිලා මැදහත්කරු ලෙස තමා කටයුතු කරන බව දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් පවසා ඇත.

උතුරු කොරියා නායකයාගේ එරට ජනාතාවගේ සාමය වෙනුවෙන් ඇති කැපවීම සම්බන්ධයෙන් පාප්තුමන්ට දීර්ඝ වශයෙන් පැහැදිලි කර දීමට දකුණු කොරියා ජනාධිපතිවරයා කටයුතු කළේය. මිසයිල අත්හදා බැලීම් නවත්වා, න්‍යෂ්ටික අවිහරණ කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්ව සිටින බව පාප්තුමෝ දකුණු කොරියා ජනාධිපතිවරයා හමුවේ පැවැසූහ.

දකුණු කොරියා ජනාධිපති සමඟ ජනාධිපති ආර්යා කිම් ජොන් සූක් ද පාප්තුමන් හමුවීමට වතිකානයට ගොස් සිටින්නීය. පාප්තුමන් හමුවුණු අවස්ථාවේදී දකුණු කොරියා ජනාධිපතිවරයා උතුරු කොරියාව සාමයට කැපවීම සනිටුහන් කරමින් විශේෂ ඔලිව් අත්තක් ද පාප්තුමන්ට තෑගි කළේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS