තායිලන්තයට පැසැසුම්



ආසියානු කලාපයට අයත් තුන්වැනි ලෝකයේ රටක් ලෙස සැලකෙන තායිලන්තය, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට සමත් වීම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසැසුමට හේතුවක් වී තිබේ.

චීනයෙන් පිට පළමුවෙන් ‘කොවිඞ් 19’ ආසාදිතයන් වාර්තා වූ රටවල් අතර ඉදිරියෙන් පසුවූයේ තායිලන්තයයි. මිලියන 70 ක ජනගහනයක් වෙසෙන තායිලන්තයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 3,874 කි.

තායිලන්ත රජය සහ සෞඛ්‍ය අංශ එක් වී කැපවීමෙන්, වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සමත් වී සිටින බවත්, තායිලන්ත වැසියන් වගකීමෙන් කටයුතු කිරීම ඊට රුකුලක් වූ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර ඇත්තේ, එන්නතක් නොමැතිව රාජ්‍ය තන්ත්‍රයේ පුළුල් මැදිහත්වීමෙන් වයිරසය මර්දනය කළ හැකි තායිලන්තය ලොව කියා දුන් බවය.

තායිලන්තය සමඟ සැසදීමේදී මිලියන 68 ක ජනගහනයක් සහිත එක්සත් රාජධානිය තුළ ආසාදිතයන් 1,344,000 කට වැඩි පිරිසක් වාර්තා වන කොවිඞ් මරණ ගණන 51,000 ඉක්මවා ගොස් තිබෙන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වී තිබේ.

තායිලන්තයේ කොවිඞ් මර්දන වැඩපිළිවෙල සාර්ථක වීම අහඹු සිදුවීමක් නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. තායිලන්තය එරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීම ආරම්භ කළේ මීට වසර 40 කට පෙරය. එහි ප්‍රතිඵලයක් ලෙස මිලියනයකට අධික ග්‍රාමීය සෞඛ්‍ය ස්වේච්ඡා සේවකයන්ගේ ජාලයක් ස්ථාපිත කෙරුණි. දීප ව්‍යාප්ත ‘කොවිඞ් 19 වයිරස මර්දන වැඩසටහනට’ මෙම සේවකයන්ගේ දායකත්වයට නොඅඩුව ලැබී තිබේ. නාගරික මට්ටමින් පමණක් නොව, ගම්මට්ටමින් ද වයිරසය පාලනය කිරීමට තායිලන්ත සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ අනුව හැකියාව ලැබී තිබේ.

බැංකොක්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS