ටෘඩෝ ෂාරුක් ඛාන් හමුවෙයි



ඉන්දියාවේ සත් දින නිල සංචාරයක යෙදෙන කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ, බිරිය සෝෆි ග්‍රෙගොරි සහ දරු තිදෙනා මුම්බායි නුවර පැමිණි අවස්ථාවේදී, සුපිරි බොලිවුඞ් නළු ෂාරුක් ඛාන් හමුවුණැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

කැනඩා අගමැතිවරයා මුම්බායි පැමිණියේ, බොලිවුඞ් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ ඉන්දීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රබලයන් හමුවී ආයෝජන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය.

මුම්බායි ඉන්දියාවේ වෙළෙඳ අගනුවරය. ඉන්දීය මෝටර් රථ ක්ෂේත්‍රයේ සහ පරිගණක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සමාගම් රැසක ප්‍රධානීහු කැනඩා අගමැති ටෘඩෝ හමුවීමට පැමිණ සිටියහ. බොලිවුඞ් අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් ද හමුවීමට අගමැතිවරයාට අවස්ථාව උදා විය.

කැනඩා අගමැති ටෘඩෝ සහ පවුලේ සාමාජිකයන්ට ෂාරුක් හමුවූයේ ද ඒ අනුවය.  කැනඩා අගමැතිවරයා, බිරිය සහ දරුවන් ෂාරුක් ඛාන්ගේ චිත්‍රපට නරඹන බවත්, ෂාරුක් යනු කවුරුදැයි ඔවුන් හොඳින් දන්නා බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.

කැනඩා අගමැතිවරයා මුම්බායි නුවර කාන්තා ව්‍යාපාරිකයන්ගේ විශේෂ සමුළුවකට ද එක් විය. කැනඩා අගමැතිවරයා එම ව්‍යාපාරික සමුළුවලට සහභාගී වෙද්දී, අගමැති බිරිය සොෆී ග්‍රෙගොරි ටෘඩෝ මුම්බායි ‘සොෆියා’ නමැති බාලිකා පාසලේ සංචාරයක නියැලුණාය.

බාලිකා අධ්‍යාපනය සහ කාන්තා අයිතීන් වෙනුවෙන් ඇය විශේෂ දේශනයක් ද පැවැත්වූවාය. ‘සොෆියා’ බාලිකා පාසලට පැමිණි අගමැති බිරිය සොෆී ටෘඩෝට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි.

විවිධාකාරයේ අලංකාර මේස් පැළැඳීම සම්බන්ධයෙන්, කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ ලොව කාගේත් අවදානයට ලක් වී සිටී. විවිධ තේමා ඇති මේස් පැළැඳීම අගමැතිවරයාගේ විනෝදයකි.

මීට පෙර, ‘ස්ටාර් වෝර්ස්’ චිත්‍රපට තේමා කොට ගත් මේස් පැළැඳීම සම්බන්ධයෙන් ද ලොව කාගේත් අවදානය දිනා ගැනීමට අගමැති ටෘඩෝ සමත් විය. ඉන්දීය සංචාරයේ දී ටෘඩෝ සහ පවුලේ අය ඉන්දියානු විලාසිතාවලින් සැරැසී සිටීම සුවිශේෂත්වයකි.

(ඒ.එෆ්.පී./එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS