ජයගත්තැයි ඉම්රාන් කියයි



පාකිස්තාන මහ මැතිවරණයෙන්, වැඩි ආසන සංඛ්‍යාවක් හිමි කර ගනිමින් ඉදිරියට පැමිණ සිටින,  විපක්ෂ දේශපාලන කණ්ඩායමක් වන ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ නායක ඉම්රාන් ඛාන්, අද (26) සවස රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් තමා ජයග්‍රහණය කළ බව ප්‍රකාශ කළේය.

අද සවස් වනවිට ලැබුණු ප්‍රතිඵල අනුව, පාර්ලිමේන්තුවේ ආසන 272 න් 118 ක් හිමිකර ගැනීමට ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය සමත් විය.

ඉම්රාන් ඛාන් සහ ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය ලැබූ ජයග්‍රහණය තමා පිළි නොගන්නා බව, බලයේ රැදී සිටි හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ ‘මුස්ලිම් ලීගය’ පක්ෂය පවසා ඇත. මුස්ලිම් ලීගය චෝදනා කරන්නේ මැතිවරණය සර්ව සාධාරණ අයුරුන් නොපැවැත්වුණු බවත් අක්‍රමිකතා රැසක් සිදුවුණු බවත්ය.

කෙසේ නමුත් මෙතෙක් නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, ඉම්රාන් සහ ඔහුගේ පක්ෂයට බහුතර බලයක් දිනා ගැනීමට හැකි වී නැති බව පාකිස්තාන පුවත් සේවා පෙන්වා දෙයි. බහුතර බලය හිමිකර ගැනීමට නම් ආසන 137 ක් ලබාගත යුතුව ඇත.
ආණ්ඩුවක් පිහිටුවීමට නම්, ඉම්රාන්ට වෙනත් කුඩා පක්ෂ සමඟ සන්ධානගත වීමට සිදුවනු ඇත.

ඉම්රාන් ඛාන් ජයගග්‍රහණය කළ බව පාකිස්තාන මැතිවරණ කොමිසම නිල වශයෙන් නිවේදනය කර නැත.
අද සවස් වෙද්දි තාක්ෂණික ගැටළු හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වන බව පාකිස්තාන මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

නිල වශයෙන් ප්‍රතිඵල නිකුත් කිරීම හෙට (27) දිනයේ සිදු කරන බව මැතිවරණ කොමසාරිස්වරයා පවසා තිබේ.

ඉම්රාන් ඛාන් ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ කේබල් සරසවියේ අධ්‍යාපනය හැදෑරුවේය.එහිදී ඔහු ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාල ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දුන්නේය.

ඉන්පසු ඔහු පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට එක් විය. පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සිටි එදා මෙදා විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස ඉම්රාන් ඛාන් සැළකෙයි.

ඉම්රාන් ඛාන් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස වසර 10 කට ආසන්න කාලයක් කටයුතු කළේය. පාකිස්තානයට ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන්නේය. ඒ, 1992 වසරේදීය.

ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අගමැති ධුරයට පත්වීම, බ්‍රිතාන්‍ය වැසියන් දකින්නේ, ඔවුන්ගේ ජාතික විරයකු ලෙස සැලකෙන පා පන්දු තරුව ඬේවිඞ් බෙකම් බ්‍රිතාන්‍ය අගමැති ධුරයට පත්වූවා ලෙසිනි.

තම මව සිහි කරමින්, ඉම්රාන් ෂෝකාත් අනුස්මරණ පදනම පිහිටුවූයේ 1991 වසරේදීය. ඉන්පසු ඔහු මුදල් එක් රැස් කරමින්, පාකිස්තානයේ පළමු පිළිකා රෝහල ඉදිකිරීමට පුරෝගමියෙක් ලෙස කටයුතු කළේය.

ඉම්රාන් ඛාන්ගේ උපන් නගරය ලෙස සැලකෙන්නේ ලාහෝරයයි.

ඉම්රාන් දේශපාලනයට පිවිස ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය (පී.ටී.අයි.) පිහිටුවූයේ 90 දශකය අවසානයේදීය.
ඉම්රාන් ඛාන් පාකිස්තාන දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් බවටත්, ජනතා බලවේගයක් බවටත් පත් වූයේ ඉන්පසුවය.

2002 වසරේ දී, ඉම්රාන් ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ පළමු ආසනය ජයගනිමින් පාර්ලිමේන්තුවට ගියේය.

2013 මැතිවරණයේදී දෙවැනි ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස කැපී පෙනුනේ ඉම්රාන්ගේ පක්ෂයයි.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS