ගවයන් සමඟ දිවිගෙවන මුන්ඩාරි



විශ්ව ගම්මානයක් බවට පත් වුණු ලෝකයේ, සාම්ප්‍රදායික ජීවන රටාව නොකඩවා පවත්වාගෙන යන ගෝත්‍රික වැසියෝ ද සිටිති. ආසියානු, අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකා රටවල මෙවැනි ගෝත්‍ර දකින්න ලැබේ. ගෝත්‍රික ජීවිත ඉතාම සරලය.

‘මුන්ඩාරි’ යන නමින් හැඳින්වෙන මේ ගෝත්‍රිකයන් ජීවත් වන්නේ අප්‍රිකාවට අයත් දකුණු සුඩානයේ සහේල් පළාතේය. ‘මුන්ඩාරී’ අහිකුණ්ඨිකය. ගව පට්ටිය ද සමඟ ඔවුහු සහේල් පළාත පුරා ගමනේ යෙදෙති. ඒ, නයිල් නදිය අසබඩය.

‘මුන්ඩාරී’ ගෝත්‍රිකයන්ගේ ජීවිත බැඳී ඇත්තේ ගවයන් සමඟය. රාත්‍රියට ආරක්ෂාව වෙනුවෙන්, කටු වැටක් සකස් කරමින් ගවයන් ද සමඟ එහි නිදා ගනිති.

උදෑසන අවදි වී රාත්‍රී අඳුරත් සමඟ නින්දට වැටෙන තුරු සෑම මුන්ඩාරි ගෝත්‍රිකයකුගේම ජීවිතය ගෙවෙන්නේ ගවයන් සමඟය. ‘මුන්ඩාරී’ ගෝත්‍රික දරුවන් ගවයන්ගේ කිරි පානය කරන්නේ කෙළින්ම ගවයන්ගේ කිරි බුරුල්ලෙනි.

ප්‍රමාණයෙන් සද්දන්ත, සුදු පැහැති මේ ගවයන් පිරිසුදු කිරීම, උන්ගේ දිග අං පිරිසුදු කිරීම ඔවුන්ගේ දෛනික රාජකාරියකි.

මුන්ඩාරි ගෝත්‍රිකයන් සහ ගවයන් සමඟ ගත කරන ඔවුන්ගේ ජීවිත කතාව ලොවට කියා පෑමට 42 හැවිරිදි ඡායාරූප ශිල්පී මාරියෝ ගැරෙත් සමත් විය.

මෙම සටහන සමඟ පළ වන්නේ, ගැරෙත් බි්‍රතාන්‍යයේ ඬේලිමේල් වෙබ් අඩවියට ලබා දුන් අපූරු මෙන්ම විස්මිත ඡායාරූප පෙළකි. මුන්ඩාරි ගෝත්‍රිකයන් ගවයන් ගැට ගසා තබන්නේ නැත. ගවයන් යන්නේ කොහෙට ද ගෝත්‍රිකයෝ ද ඒ පසුපස යති. මුන්ඩාරි ගෝත්‍රිකයන්ට ඇති වටිනාම දේ ගවයන්ය. එය ඔවුන්ගේ මුදල් ඒකකය ද වෙයි.

මුන්ඩාරි ගෝත්‍රිකයන් දෙදෙනකු අතරේ ගනුදෙනුවක් සිදුවන්නේ නම්, (ආහාර, ඇඳුම් පැලඳුම් හෝ ආයුධ වැනි දේවල් සඳහා) මුදල් ලෙස හුවමාරු වන්නේ ගවයන්ය. මුදවාපු කිරි සහ යෝගට් සකස් කර ගන්නා නමුත් මුන්ඩාරි වැසියන් කිසිම අවස්ථාවක ගව මස් ආහාරයට ගන්නේ නැත.

මුන්ඩාරි වැසියන් ස්නානය කරන්නේ ගව මුත්‍රය. ඒ, ගව මුත්‍රවල ඇති විෂබීජ නසන ගුණය නිසාය. ගව මුත්‍ර ස්නානයෙන් ආසාදනවලින් බේරීමට මුන්ඩාරි ගෝත්‍රිකයන්ට හැකිවී ඇති බව ඔවුන් සමඟ සති කීපයක් ගත කිරීමට අවස්ථාව ලැබුණු මාරියෝ ගැරෙත් පවසා ඇත.මාරියෝ ගැරෙත් ජර්මන් ජාතික ඡායාරූප ශිල්පියෙකි.

‘ඒක පුදුම අත්දැකීමක්. මුන්ඩාරි වැසියන්ට මිනිසා සහ ගවයා අතරේ වෙනසක් දකින්නේ නැහැ. ගවයන් ඔවුන්ගේ ගෝත්‍රයේ සාමාජිකයන් විදියටයි, ඔවුන් විශ්වාස කරන්නේ. ඔවුන් ඇවිදින්නේ, කන්නේ බොන්නේ, නිදාගන්නේ ගවයන් සමඟයි. හොඳින් වැඩුණු දිග අං ඇති ශක්තිමක් ගවයන් මුන්ඩායි ගෝත්‍රිකයන්ගේ අභිමානයයි.’ යැයි මාරියෝ ගැරෙත් කියයි.

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS