කාබුල් බෝම්බයට 24 ක් බිලි



ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර අද උදෑසන කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් 24 දෙනෙක් ඊට බිලිවූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 42 කි.

බෝම්බය පුපුරා ගියේ උදෑසන 7.15 ට පමණ යැයි ඇෆ්ගන් ආරක්ෂක අංශ කියයි. බෝම්බය පුපුරා ගියේ කාර්යබහුල වේලාවකය. කාර් බෝම්බකරුගේ ඉලක්කය වී ඇත්තේ, ඇෆ්ගනිස්තානයේ පතල් සහ කැණීම් අමත්‍යාංශයේ නිලධාරීන් සහ සේවක සේවිකාවන් ගමන් කළ බස් රියක් යැයි ද පැවැසෙයි.

බෝම්බ ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු සංවිධානයක් විසින් බාර ගනු ලැබ නැත. කෙසේ නමුත් එය තලේබාන් ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයක් විය හැකි යැයි අනුමාන කෙරේ. කෙසේ නමුත් මේ වනවිට අයි.එස්. ත්‍රස්වාදීහු ද ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරති.

කාර් බෝම්බය පුපුරා ගියේ කාබුල් අගනුවර ෂියා මුස්ලිම්වරුන් බහුලව වාසය කරන කලාපයකය. එහෙයින්, එය සුන්නි ෂියා ගැටුමක් විය හැකි යැයි ද ඇෆ්ගන් රජය වැඩි දුරටත් කියා සිටී.

මෙම 2017 ආරම්භයේ සිට කාබුල් අගනුවර ඉලක්ක කර ගනිමින් බෝම්බ පිපිරීම් සිදුවිය. ඒවායින් වැඩි ප්‍රමාණයක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක දැක්වෙයි.

පසුගිය මැයි මාසයේ ට්‍රක් රියක ඇටවූ අධි බලැති බෝම්බයක් පුපුරා ගියේය. එහිදී 150 ක පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 200 කට ආසන්නය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS