කළුකුමාට අභයදානය



තුතිපුදකිරීමේ දිනය නිමිත්තෙන් ධවල මන්දිරයේ දී, කළුකුමකුට අභයදානය දීමට ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු කළේය.

මරණයට කැපවුණු කළුකුමකුට තුති පුදකාරීමේ දිනය නිමිත්තෙන් අභයදානය දීම ඇමෙරිකා ජනපතිවරුන්ගේ සම්ප්‍රදාය වෙයි. ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනපති ධුරයට පත් වූයේ මෙම වසර මුලදීය. තුතිපුදකිරීමේ දිනය නිමිත්තෙන් ඔහු කළුකුමකුට අභය දානය දුන් පළමු අවස්ථාව මෙයයි.

කළුකුමාට අභයදානය දීම නිමිත්තෙන් විශේෂ උත්සවයක් ධවල මන්දිරයේ ගෙවත්තේ පැවැත්විණි. එම අවස්ථාවට ට්‍රම්ප් බිරිය මෙලානියා සහ 11 හැවිරිදි බැරන් සහභාගී වූහ.

ට්‍රම්ප්ට පෙර ඇමෙරිකාවේ ජනපති ධුරය හෙබවූයේ බැරැක් ඔබාමාය. ඔබාමා සිය දියණියන් දෙදෙනා ද සමඟ සෑම වසරකම කළුකුමකුට අභය දානය ලබා දුන්නේය.

‘ඔබාමා අභයදානය දුන් කළුකුමෝ දැන් හොඳ සැපට ඉන්නවා. උන්ගෙන් එකෙකු මස් කරලා කන්න ආසයි. ඒත් ධවල මන්දිරයේ නීතීඥවරු කීවා ඒකට අවසර නැහැ’ යැයි ඒ ගැන සිහිපත් කරමින් ජනපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කියා සිටියේය. ට්‍රම්ප් කළ මෙම විහිළුව ආන්දෝලනයක් ඇති කිරීමට ද හේතුවක් විය.

කළුකුමාට අභයදානය දීමේ අවස්ථාවට ට්‍රම්ප්ගේ පළමු කසාදයේ දියණිය මෙන්ම ට්‍රම්ප්ගේ උපදේශිකාව ලෙස ද කටයුතු කරන ඉවන්කා ද සහභාගී වූවාය. ඒ සැමියා ජෙරාඞ් කුෂ්නර් සහ දරු දැරියන් ද සමඟය.

ඊට අමතරව ට්‍රම්ප්ගේ දෙවැනි කසාදයේ දියණියක වන ටිෆනි ට්‍රම්ප් ද ධවල මන්දිරයට පැමිණ සිටියාය. ජනපති ආර්යාව වන මෙලානියා ට්‍රම්ප්ගේ තෙවැනි බිරියයි.

කුළුකුමාට අභයදානය දීමෙන් පසු ට්‍රම්ප්, මෙලානියා සහ බැරන් වොෂින්ටනයෙන් පිටත් වී ෆ්ලොරීඩාව බලා ගියහ. ඒ, ෆ්ලොරීඩාවේ මාර් අ ලාගෝහි පිහිටි ඔවුන්ගේ නිවාඩු නිකේතනයටය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS