ඕමානයේදී සිංහ කොඩිය ළෙලදේ



ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් සංවත්සරය සැමරීම සඳහා ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින්  ඉකුත් පෙබරවාරි 04 වැනිදා එම තානාපති කාර්යාල පරිශ්‍රයේදී සරල ධජ එසවීමේ උත්සවයක් සංවිධානය කරන ලදී.

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල් අමීර් අජ්වාඩ් විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව නිදහස් දින සැමරුම සහභාගී වූවන් ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව මාතෘ භූමිය වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කළ අය සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීය. එසේම ඉකුත්  ජනවාරි 10 වන දින අභාවප්‍රාප්ත වූ ඕමානයේ  සුල්තාන් කබූස් බින් සයිඩ් රජතුමන් සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අමතක නොකළේය.

ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිදහස් දින පණිවිඩය තානාපති අමීර් අජ්වාඩ් විසින් සිංහලයේදී කියවන ලදී. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ නිදහස් දින පණිවුඩ තෙවැනි ලේකම් ආර්. තිලගේෂ්වරී සහ දෙමළ භාෂාවෙන් අමාත්‍ය ඩබ්ලිව්.ඒ.කේ.එස්.අල්විස් යන මහත්ම මහත්මීන් විසින් ඉදිරිපත් කරන ලදී.

රැස්වීම අමතමින් තානාපති අමීර් අජ්වාඩ් මහතා කියා සිටියේ මව්බිම වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කළ සියලුම ශ්‍රී ලාංකිකයන්ට හැමවිටම උපහාර දක්වන බවද කියා සිටියේය. ශ්‍රී ලංකාවේ සාමය හා සමෘද්ධිය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා සහයෝගයෙන් කටයුතු කරමින් ඔමාන් සුල්තාන් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ සියලුම සාමාජිකයින්ට අත්වැල් බැඳ ගන්නා ලෙස තානාපතිවරයා ආරාධනා කළේය.

මේ අතර  පෙබරවාරි 04 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සුල්තාන් රාජ්‍යයේ ජනප්‍රිය පුවත්පත් වන ‘ටයිම්ස් ඔෆ් ඕමාන්’ සහ ‘මස්කට් ඩේලි’ හි විශේෂ නිදහස් දින අතිරේකයක් ප්‍රකාශයට පත් කළේය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS