ඉරාන රොකට්ටුව උඩ යයි



චන්ද්‍රිකා පෘථිවි කක්ෂයට රැගෙන යා හැකි රොකට්ටුවක් සාර්ථකව උඩු ගුවනට යැවීමට ඉරාන විද්‍යාඥයෝ සමත් වූහ.

ඉරානය මෙසේ රොකට් අත්හදා බැලීමක් කළේ, ඇමෙරිකාවේ ඩොනල්ඞ් ට්‍රම්ප් පරිපාලනය ඉරානයට එරහෙිව නව සම්බාධක පැනැවීමට සූදානම් වෙද්දීය.

හිටපු ජනාධිපති ඔබාමා මෙන් නොව, ඩොනල්ඞ් ට්‍රම්ප් ඉරාන විරෝධී ප්‍රතිපත්තියක සිට කටයුතු කරයි. ට්‍රම්ප් පරිපාලනය ඉරානයට නව සම්බාධක පැනැවීමට සූදානම් වන්නේ ඉරාන මිසයිල වැඩසටහන සම්බන්ධයෙනි.

ඉරානය මෙම රොකට්ටුව අත්හදා බැලුවේ ද ඔවුන්ගේ මිසයිල වැඩසටහනේ එක් අදියරක් ලෙසිනි.

කිලෝ ග්‍රෑම් 250 ක් බරින් යුත් චන්ද්‍රිකාවක් පහසුවෙන් උඩු ගුවනට රැගෙන යෑමට මෙම රොකට්ටුවට හැකියාව ඇතැයි ඉරානය කියයි. අත්හදා බැලීමේ දී එය කිලෝ මීටර් 500 ක දුරක් පෘථිවි කක්ෂයට ගමන් කළේය.

තම මිසයිල වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ කිසිදු රටකට අනතුරක් කිරීමට නොව, රටේ ආරක්ෂාව වෙනුවෙන් යැයි ඉරානය සහතික වී ඇත. එහෙත් ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් එය පිළිගන්නේ නැත.

ඇමෙරිකාව තම රටට එරෙහිව සම්බාධක පැනැවීමක් කළොත්, ඊට පෙරළා ප්‍රතිචාර දැක්වීමට තමන් ද සූදානමින් පසුවන බව ඉරාන ජනාධිපති හසන් රොව්හානී විශේෂ ප්‍රකාශයක් කර ඇතැයි ද වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS