ඇමසන් වනය වනසන ළැව් ගිනි



සාමාන්‍යයෙන් වනාන්තරයක ළැව් ගිනි හට ගැනීම ස්වභාවිකය. වසරේ වියලි කාලගුණයක් ඇති සමයේ, ළැව් ගිනි ස්වභාවිකව නිර්මාණය වෙයි. එය එසේ විය යුතුය. ඊට හේතුව ළැව් ගිනි මගින් විනාශයක් සිදුවී එම විනාශය හරහා නැවුම් වඩාත් හොඳ පෝෂණයකින් පිරුණු වනාන්තරයක් නිර්මාණය වීමය.

ස්වභාවිකව ඇතිවන ළැව් ගිනි ගැන වනාන්තරය නිවහන කරගත් සතුන්ට හොඳ ඉවක් ඇත. ඒ අනුව, උන් ළැව් ගිනි මඟ හැර යයි.

අප පෘථිවියේ පෙනහල්ල ලෙසත් ජීව නාළියත් ලෙස සැලකෙන ඇමසන් වැසි වනාන්තරයේ පැතිර යන්නේ එසේ මෙසේ ළැව් ගිනි නොවෙයි.

මේ මොහොත වනවිට බ්‍රසීලයට අයත් ඇමසන් වැසි වනාන්තරයේ තැතින් තැන ළැව් ගිනි 2,500 ක් පැතිර යමින් පවතී. මෙය ඉතාමත් බරපතල තත්ත්වයකි. මෙම ළැව් ගිනිවලින් නැගෙන දුමාරය අභ්‍යවකාශයට පවා හොඳින් දකින්න ලැබේ.

පණ ඇති අප සැමට ජීවත් වීමට ඔක්සිජන් අවශ්‍යය. පිට කරන කාබන්ඩයොක්සයිඞ් උරා ගනිමින්, ඔක්සිජන් නිර්මාණය වන්නේ වනාන්තරවලිනි. ඒ අතරින් ප්‍රධානතම කාර්යයක් ඉටු කරන්නේ ඇමසන් වැසි වනාන්තරයයි.

ඇමසන් වනාන්තරය කිලෝ මීටර් මිලියන 5.5 ක් පුරා දකුණු ඇමෙරිකාව (ලතින් ඇමෙරිකාව) පුරා පැතිර පවතී. ලොව විශාලතම නිවර්තන කලාපීය වැසි වනාන්තරය වන ඇමසන්, බ්‍රසීලයට පමණක් නොව ලතින් ඇමෙරිකා රටවල් රැසකට අයත් වෙයි.

ළැව් ගිනි පැතිර යමින් පවතින්නේ බ්‍රසීලයට අයත් ඇමසන් වැසි වනාන්තරයේ පමණි. ඇමසන් වැසි වනාන්තරයෙව් සියයට 60 ක ප්‍රමාණයක් අයත් වන්නේ බ්‍රසීලයටය.

ඇමසන් වැසි වනාන්තරය අයත් සෙසු රටවල් වන්නේ පේරු, කොලොම්බියා, වෙනිසියුලා, ඉක්වදෝර්, බොලීවියා, ඝයානා, සුරිනේම්, ප්‍රංශ ගියානා ය.

ලොව දිගින් වැඩි ගංගා අතර දෙවැනි තැනට පත් වන්නේ ඇමසන් ගංගාවය. ඇමසන් ගංගාව ඇමසන් වනාන්තරය මැදින් ගලා බසී.

ලොව වැඩිම ජෛව විවිධත්වයක් දකින්න ලැබෙන වනාන්තරය වන්නේ ද ඇමසන් වනාන්තරයයි. ඇමසන් වනාන්තරයට පමණක් ආවේණික ගස් වර්ග බිලියන 390 කි. ඒවායේ එකිනෙකට විශේෂ ගස් වර්ග 16,000 කට වැඩි යැයි පරිසරවේදීහු පෙන්වා දෙති.

ඇමසන් වැසි වනාන්තරයට පමණක් ආවේණික කෘමි විශේෂ මිලියන 2.5 කි. මත්ස්‍ය විශේෂ 2,200 කි. පක්ෂි විශේෂ 1,294 කි. ලොව කුරුලු විශේෂ අතරින් සෑම කුරුලු විශේෂයක්ම පාහේ ඇමසන් වැසි වනාන්තරයේ දකින්න ලැබේ. ඇමසන් නිවහන කරගත් ක්ෂීරපායීන් 427 කි.

ජගුවරයා, කැපිබාරා, ස්ලොත් හෙවත් මන්දයා ඇමසන් වනයට පමණක් ආවේණික ක්ෂීරපායීන්ය. ඇමසන් නදියේ පමණක් ජීවත් වන රෝස පැහැති ඩොල්ෆින් ද ඒ අතරින් කැපී පෙනෙයි.

ඇමසන් වනාන්තරයට පමණක් ආවේණික උරගයන් ගණන 378 කි. ඒ අතරට සර්ප ලොවේ දැවැන්තයා වන ඇනකොන්ඩා ද අයත් වෙයි.

උභය ජීවීහු 428 ක් ඇමසන් වනාන්තරයේ ජීවත් වෙති. මේ ජීවීන්ගෙන් වැඩිදෙනා ජීවත් වන්නේ මේ වනවිට ගිනිගෙන දැවෙමින් පවතින බ්‍රසීලයට අයත් ඇමසන් වනාන්තරයේය.

රොරයිමා, ඇක්රේ, රොන්ඩෝනියා, ඇමසෝනාස්, මාටෝ ග්රොසෝ දෝසුල් යන බ්‍රසීලයේ උතුරුදිග ප්‍රාන්තවලට අයත් ඇමසන් වනාන්තරයේ මෙම ළැව් ගිනි පැතිර යයි. සිදුවී ඇතැයි පැවැසෙන හානිය අතිමහත්ය.

වැසි වනාන්තරයේ මේ අයුරින් දරුණු අන්දමට ළැව් ගිනි පැතිර යන්නේ දශක ගණනාවකට පසුව යැයි පරිසරවේදීහු පෙන්වා දෙති. කලින් වසරවලට වඩා මෙම 2019 ආරම්භයේ සිට ළැව් ගිනිවල වර්ධනයක් සිදුවුණැයි ‘බ්‍රසීල ජාතික අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය’ නිකුත් කළ දත්ත වාර්තාවක දැක්වෙයි.

‘බ්‍රසීල ජාතික අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය’ ඔවුන්ගේ චන්ද්‍රිකා දත්ත සහ ඡායාරූප ඇසුරින් සැකැසූ මෙම වාර්තාවට අනුව, 2018 වසරට වඩා මෙම වසරේ සියයට 85 කින් ළැව් ගිනි වර්ධනයක් දකින්න ලැබේ.

මෙම වසරේ පළමු මාස කීපයේ පමණක් ළැව් ගිනි 75,000 ක් හටගත් බව බ්‍රසීල රජය නිකුත් කළ නිල නිවේදනයක දැක්වෙයි.

සාමාන්‍යයෙන් වියලි කාලයට ඇමසන් වනාන්තරයේ ළැව් ගිනි හටගනී. මෙය ස්වභාවිකය. ඇමසන් වැසි වනාන්තරයට වියළි කාලගුණයක් උදා වෙන්නේ ජූලි සිට ඔක්තෝබර් දක්වා කාලයේය. ස්වභාවිකව ළැව් ගිනි හටගන්නේ අකුණු ගැසීම්වලිනි. බොහොමයක් ළැව් ගිනිවලට හේතුව මිනිසා නමැති බිහිසුණු සත්වයාය.

ඇමසන් වනාන්තරය ද සෙසු වනාන්තර මෙන්ම එළිපෙහෙළි කරයි. ගස් කපා දැමීම සිදු කරයි. ඒ මනුෂ්‍ය අවශ්‍යතා සපුරා ගැනීමටය. වගාවන් සඳහාය. මෙම අවශ්‍යතා සපුරා ගැනීමට කැළය ගිනි තැබීම සිදු කරයි. එය කරන්නේ මනුෂ්‍යයන්ය.

මේ වනවිට බ්‍රසීල ඇමසන් වනාන්තරයේ බුර බුරා නැගෙන ළැව් ගිනිවලට ගෝලීය උණුසුම ඉහළ යෑම ද එක් හේතුවක් වී ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.

වත්මන් බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ ද ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් මෙන්ම, මුදල පසුපස සහ ලාභය පසුපස දුවන අයෙකු බව පැවැසෙයි.

ට්‍රම්ප්ට සේම, බොල්සරනෝට ද පරිසරය ගැන හෝ ගෝලීය උණුසුම ඉහළ යෑම ගැන හෝ තැනීමක් නැත. බ්‍රසීලයට නව ආයෝජන අවස්ථා ඇති කර ගැනීමට සහ වැඩි ලාභයක් වෙනුවෙන් ඇමසන් වැසි වනාන්තරය මුළුමනින්ම ගිනි තබා විනාශ කිරීමට ජනපතිවරයා පසුබට නොවන බව පරිසරවේදීන්ගේ අදහසය.

මේ වනවිට බ්‍රසීල පරිසර කටයුතු ඇමැතිවරයා ද මාධ්‍යවේදීන්ගේත් පරිසරවේදීන්ගේත් දැඩි දෝෂ දර්ශනයට ලක් වී ඇත.

ජනපති ධුරයට පත්වීමෙන් පසු අන්ත දක්ෂිණාංශික ජාර් බොල්සරානෝ, ඇමසන් වැසි වනාන්තරය ඉවක් බවක් නොමැතිව එළිපෙහෙළි කිරීමට, ගස් කැපීමට, ගිනි තැබීමට, ව්‍යාපාරික සමාගම්වලට ඉඩ සලසා දී තිබේ. ඇමසන් වනාන්තරයේ විනාශයට හේතුවක් වන අයුරින් ළැව් ගිනි පැතිර යෑමට හේතුවක් වී ඇත්තේ එයයි.

ඇමසන් වැසි වනාන්තරයේ ළැව් ගිනි සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට තමන් පියවර ගන්නා බව ජනාධිපති බොල්සරානෝ පවසා තිබේ. වැනය විනාශ කිරීමට මුල් වුණු ජනාධිපති බොල්සරානෝ දැන් වන විනාශය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පියවර ගැනීම ‘මහ විහිළුවක්’ බව පරිසරවේදීන්ගේ අදහසය.

මේ අතර පැතිර යන ළැව් ගිනි පාලනය කිරීමට හෝ නිවා දැමීමට හෝ බ්‍රසීල රජයට අවශ්‍ය පහසුකම් හෝ මුදල් ප්‍රතිපාදන හෝ නොමැති බව බ්‍රසීල ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

පරිසරය ගැන තැකීමක් කරන පරිසරයට ආදරේ ලෝක නායකයකු වන ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමසන් වනාන්තරයේ පැතිර යන ළැව් ගිනි සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කර ඇත. 

ඇමසන් වැසි වනාන්තරයට සිදුවී ඇති සහ සිදුවන විනාශය ගැන ගෝලීය කථිකාවක් අවශ්‍ය බව ප්‍රංශ ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ලොව ධනවත් රටවල එකමුතුව ලෙස සැලකෙන ‘ජී7’ රටවල රාජ්‍ය නායකයන් එක් වී, ගෝලීය අර්බුදයක් බවට පත් වුණු ඇමසන් වනාන්තරයේ පැතිර යන ළැව් ගිනි සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති මැක්රොන් යෝජනා කර තිබේ.

ලුසිත ජයමාන්න
රොයිටර් සහ ඒ.එෆ්.පී ඇසුරිනි


RECOMMEND POSTS