ලාහෝරය විස දුමෙන් වැහිලා



පාකිස්තානයේ ලාහෝර් නුවර විස ඝන දුමාරයකින් වැසී යෑමත් සමඟ නගරයේ දෛනික කටයුතු මුළුමනින්ම අඩපණ විය.

විස දුමාරය හේතුවෙන් ඇස් රතුවීම, වමනය, කැරැකිල්ල සහ ස්වසනාබාධවලට ලක් වුණු පාකිසතාන වැසියෝ සියයකට වැඩි පිරිසක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති. රෝහල් බලධාරීන් පවසා ඇත්තේ ප්‍රතිකාර ලබන වැඩිදෙනා කුඩා දරුවන් කියාය.

ලාහෝර් නගර බලධාරීන් නගර වැසියන්ට දන්වා ඇත්තේ හැකිතාක් නිවෙස්වල සිටින ලෙසටය. නිවෙස්වලින් බැහැරව යන්නේ නම් මුඛ ආවරණ පළදින්නැයි ද බලධාරීහු වැඩි දුරටත් අනතුරු අගවා සිටිති.

පාකිස්තාන කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දහට විස ඝන දුමාරය රථ වාහන සහ කර්මාන්ත ශාලාවලින් නිකුත් කෙරෙන දුම්, මීදුම් සහ දූවිලි එක් වී නිර්මාණය වූවක් කියාය. මෙය ‘ස්මොග්’ යනුවෙන් බටහිර විද්‍යාඥයෝ හඳුන්වති.

ලාහෝර් නුවර පමණක් නොව, ලාහෝර් අයත් පන්ජාබ් ප්‍රාන්තයේ පළාත් බොහොමයක් වසා ගෙන ඇති බව පාකිස්ත පුවත් සේවා වාර්තා කරයි.

රට අභ්‍යන්තරයේත්, ජාත්‍යන්තරයේත් ගුවන් ගමන් 60 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කිරීමට ගුවන් ගමන් පාලන අධිකාරිය තීරණය කළේ ඝන දුම්රාය හේතුවෙන් යානා පියාසර කිරීම නියමුවන්ට ගැටලුවක් වූ බැවිනි. ගුවන් ගමන් අඩපණ වීමත් සමඟ දස දහස් ගණනින් මගීන් ලාහෝර් ගුවන්තොටුපොළේ කොටුවුණු බව ද වාර්තා වේ.

ගුවන් ගමන් පමණක් නොව, දුම්රිය ගමන්වලට ද මෙම ඝන දුමාරය බාධාවක් වී ඇතැයි ද පැවැසෙයි. ඊයේ උදෑසන සිට දුම්රිය ප්‍රමාදයක් ද සිදුවිය. අනතුරු විය හැකි බැවින් අධිවේගී මාර්ගවල ප්‍රවේසමෙන් ගමන් කරන්නැයි පාකිස්තන රජය පන්ජාබ් වැසියන්ට දැනුම් දී ඇත.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS