ජය සැමරූ වැසියන්ට කඳුළු ගෑස්



පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට ප්‍රංශය සමත් වීමත් සමඟ, පැරිස් නුවරට එක්රොක් වී, ප්‍රීතිවෙමින් කලහකාරීව හැසිරුණු ප්‍රංශ වැසියන්ට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

ජය සැමැරීමට පැරිස් නුවරට රැස්ව සිටි පිරිස ලක්ෂයකට වැඩිය. පැරිස් නුවර මධ්‍යයේ දැවැන්ත තිරයක පාපන්දු තරගය නැරැඹීමට පැරිස් බලධාරීන් අවස්ථාව උදා කර දී තිබුණු බව ද පැවැසෙයි.

අවසන් තරගය රුසියාවේ මොස්කව් නුවර ලුස්නිකී ක්‍රීඩාංගනයේ පැවැත්විණි. ප්‍රංශ කණ්ඩායම ගෝල හතරට දෙකක් ලෙස ක්‍රොඒෂියා කණ්ඩායම පරාජය කළේය. පාපන්දු ලෝක කුසලානය ප්‍රංශයට හිමිවූයේ විසි වසරකට පසුවය.

අවසන් තරගය නැරැඹීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, බිරිඳ බි්‍රජෙත් ත්‍රොග්නෝව්, ක්‍රොඒෂියා ජනපතිනී කොලින්ඩා ග්‍රැබාකිටරොවික් පමණක් නොව, රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් ක්‍රීඩාංගනයට පැමිණ සිටියහ.

ක්‍රොඒෂියා ජනපතිනී කොලින්ඩා, ක්‍රොඒෂියා පාපන්දු කණ්ඩායම සහ පාපන්දුලෝලීන් සමඟ රුසියාවේ රැඳී සිටිමින් ක්‍රොඒෂියාව සහභාගී වුණු සෑම තරගයක්ම නැරැඹුවාය. කණ්ඩායම දිරි ගැන්වූවාය.

ප්‍රංශ කණ්ඩායම ජයග්‍රහණය කළ අවස්ථාවේදී, ප්‍රේක්ෂකාගාරයේ විශේෂ කුටියක සිට තරගය නරඹන්න වූ ප්‍රංශ ජනාධිපති මැක්රොන්ගේ සතුට ඉහවහා ගියේය. ඔහු ප්‍රීතිඝෝෂා කරමින් නටන්න පටන් ගත්තේය. ප්‍රංශ ජනපති නටන එම දසුන් මේවනවිට විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

පාපන්දු කිරුළ ප්‍රංශ කණ්ඩායමට පිරිනැමීමේ අවස්ථාව සිදුවූයේ වර්ෂාවක් මධ්‍යයේය. එම අවස්ථාවට පුටින්, මැක්රොන් පමණක් නොව කොලින්ඩා ද එක් වූහ. වර්ෂාවෙන් ආරක්ෂා වෙමින් පුටින් කුඩයක් යට සිටියත්, මැක්රොන් සහ කොලින්ඩා වැස්සට තෙමීගෙන ක්‍රීඩකයන්ට සුබ පැතූහ.

(ඬේලිමේල්/ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS