අබුඩාබි වෙසක් මංගල්‍යය



ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා සබැඳි අබුඩාබි ශ්‍රී ලංකා සංස්කෘතික පදනම තෙවන වරට සංවිධානය කරන ලද වෙසක් සංස්කෘතික මංගල්‍යය 2018 මැයි මස 11 වන දින Umm Al Emarat Park හිදී සාර්ථකව නිමාවට පත්විය.

අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වටා එක්ව සිටින සියළුම සමිති සමාගම්, සංවිධාන වල එකතු වෙන් සුසැදි ශ්‍රී ලංකා සංස්කෘතික පදනම, මෙම වෙසක් සංස්කෘතික මංගල්‍යය සංවිධානය කරන ලදී.

මව් බිමේ සංස්කෘතියෙන් බැහැරව ඊට හාත්පසින්ම වෙනස් ජන සාමාජයක් සිටින එක්සත් අරාබි එමීරය වැනි රටක අපේ රටේ අනන්‍යතාව, සංස්කෘතිය, සදාචාරය, මෙන්ම චාරිත්‍ර වාරිත්‍ර ආරක්ෂා කර ගනිමින් ඒ පිළිබඳ ඉදිරි පරපුරට අවබෝධයක් ලබා දීම සංවිධානය කරනු ලබන සෑම වැඩ සටහනකම  මූලික අරමුණ වනු ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයින් වුවද ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය හදාරන දරු පිරිසක් සිටින එමෙන්ම අබුඩාබියේ පවතින ස්ලාම් සංස්කෘතිය තුළම ගැවසෙන දරුවන්ට මෙවැනි වැඩ සටහන් මඟින් තම මව්බිම, තම ආගම, තම ජාතිය, තම අනන්‍ය සංස්කෘතිය පිළිබඳ ලබා දෙන්නේ අප්‍රමාණ අවබෝධයකි.

පසුගිය 11 වන දින පවත්වන්නට යෙදුනු වෙසක් සංස්කෘතික මංගල්‍යයේ ප්‍රධාන අංගය ලෙස පැවතුනේ වෙසක් පෙරහැරයි. ඒ අවස්ථාව වන විට මෙතෙක් පෙරහැරක් නොදැක සිටි ශ්‍රී ලංකික දරු දැරියන් සිටි බව නොරහසකි. ඒ අනුව පෙරහැරක තිබිය යුතු සියළුම අංගයන් ඇතුළත් වන පරිදි පෙරහැර පෙළ ගැස්සවීමට සංවිධායක කමිටුව ගෙන තිබූ උත්සහය අගය කළ යුතුය.

කස කරුවන් පෙරටු කර ගනිමින් ගමන් ආරම්භ කළ වෙසක් පෙරහැර ගිණිබෝල කරුවන්, සේසත් මුරායුධ කරුවන්, බෙර කරුවන්, මල් හා කොඩි කරුවන් මෙන්ම අලංකාරවත් නර්ථන කණ්ඩායම් ද නිලමේවරුන් ද ඇතුළත් වුනා. විශේෂයෙන්ම මහනුවර දළදා මාලිගයේ දෑලේ ඇත් පන්තිය සිහි ගන්වමින් පෙරහැරේ ගමන් කළ තේජානිවිත හස්ති රාජයා පෙරහැරට ගෙන ආවේ අපූර්වත්වයකි.

දෙව්පුර ඇතෙකී...කුඹු දහසයකි..... ආදී ලෙස ගැයෙන ගජගා වන්නමේ නාද මාලාව අනුව මෙම අලංකාරවක් පෙරහැර ක්‍රීඩාංගණය වටා ගමන් කළේ පැමිණ සිටි පන් දහසකට අධික ශ්‍රී ලංකික ප්‍රජාව මෙන්ම ඒ අවස්ථාවට සහභාගී වූ විදේශ සංචාරකයන් ද අමන්දානන්දයට පත් කරමිනි. පෙරහැරේ අංගයන් සඳහා සහභාගී වූ කුඩා දරු දැරියන් මෙන්ම පෙරහැර සංවිධායක කමිටුව තමන්ට හැකි උපරිම දායකත්වය ඒ සඳහා ලබා දී තිබූ බව සටහන් නොකරම බැරිය.

පසුව අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සිසිර සෙනවිරත්න මැතිතුමා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරී මණ්ඩලයේ සහ අනෙකුත් ආරාධිත අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹි සංස්කෘතික වැඩ සටහන අබුඩාබිය සිසාරා වෙසක් අසිරිය පතුවන්නට සමත් විය. බොදු බැති ගී, නර්ථන අංග, භක්ති ගීත වලින් පරිපූර්ණව පැවැති වැඩ සටහන සඳහා ඩුබායි හි සිට පැමිණි ශ්‍රී ලංකික ප්‍රජාව ද ලබා දුන් දායකත්වය අගය කළ යුතුය. විශේෂයෙන්ම අබුඩාබි මේෂාන් දිසානායක රංගායතනයේ සිසු සිසුවියන්ගේ දායකත්වය සිහිපත් කළ යුතු අතර අබුඩාබි සිකුරාදා පාසලේ දූදරුවන්, ගුරුමණ්ඩලය, දෙමාපියන් ලබාදුන් සහයෝගය ද අගය කල යුතුය.

තක්ක ජාතකය ගෙනහැර දක්වමින් ඉදිවූ වෙසක් තොරණ ද ක්‍රිඩාපිටියේ හතරවට ඉදිකර තිබූ කැරකෙන වෙසක් කූඩු ද ගෙන හැර පෑවේ ලංකාවේ වෙසක් සිරි පිරි පරිසරයකි. ඒ ඒ ආයතන නියෝජනය කරමින් තරුණ කණ්ඩායම් එක්ව සකස් කර තිබූ මෙම වෙසක් කූඩු අලංකාරවත් කැටයමින් නිමාවා තිබුණි.

එසේම පැමිණසිටි පිරිසට වෙසක් සිරි නරඹන අතරතුර දාහය, කුසගින්න නිවා ගැනීමට සංවිධානය කර තිබූ දන්සල් වටා මී මැසි පොදි මීයට එකතු වන්නාසේ පිරී ඉතිරී ගොස් තිබෙනු දැක ගත හැකි විය. මෙම සෑම දන්සැලක්ම අබුඩාබි ශ්‍රී ලංකා සංස්කෘතික පදනමේ අධීක්ෂණය යටතේ පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබීම පැසසිය යුතුය.

අබුඩාබි කලා කවය හා ශ්‍රී ලංකා සංස්කෘතික පදනම එක්ව අබුඩාබියේ වෙසෙන සියළුම ශ්‍රී ලාංකික දරු දැරියන් වෙනුවෙන් සංවිධානය කල චිත්‍ර තරඟයේ ත්‍යාග ප්‍රධානය ද මෙදින සිදු කරක ලදී.

අබුඩාබි ශ්‍රී ලංකා සංස්කෘතික පදනම තෙවන වරට අති සාර්ථකව වෙසක් සංස්කෘතික මංගල්‍යය අවසන් කිරීමට හැකිවීම ඒ සදහා මූලික වූ සැමගේ සාමුහික කැපවීම මල්පල ගැන්වීමකි.

 ප්‍රභාත් ගුණසේකර

ජායාරූප - අයි.ප්‍රනාන්දු / සමීර කංකානම 


RECOMMEND POSTS