හොංකොං ගුවන්තොටුපොළ යුද පිටියක් වෙයි



චීනයට අවශ්‍ය පරිදි, හොංකොං පාලිකා කැරී ලෑම් ගෙන ඒමට උත්සාහ ගන්නා උදර්පණ නීති සංශෝධනයට එරෙහිව විරෝධය පළ කරමින්, හොංකොං වැසියෝ පොලිස් අණ නොතකා එරට ජාත්‍යන්තර ගුවන්තොටුපොළට කඩා වැදුණාහ.

වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ විශ්ව විද්‍යාල සිසුහු මෙම විරෝධතා සඳහා එක් වී සිටිති. හොංකොං මාධ්‍ය වාර්තා කළේ පොලිසිය එල්ල කළ කඳුළු ගෑස්, ගම්මිරිස් දියර සහ බැටන් ප්‍රහාර හමුවේ, දහසකට වැඩි විරෝධතාකරුවන් පිරිසක් ගුවන්තොටුපොළට කඩා වැදුණු බවය. එම අවස්ථාවේදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර දරුණු ගැටුම් හටගත් බව පැවැසෙයි.

විරෝධතාකරුවන් 78 දෙනකු පොලිසිය විසින් පහර දී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
එම ගැටුම් හේතුවෙන් ගුවන්තොටුපොළ යළි වසා දැමුණි. පසුගිය දින කීපපය පුරා පැවැත්වෙන විරෝධතා සහ ගැටුම් හේතුවෙන් ලොව ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ද සැලකෙන හොංකොං හි සියලු කටයුතු මුළුමන්නිම අඩපණ වී ඇත.

සියලු ගුවන් යානා අවලංගු කර ඇතැයි හොංකොං ගුවන්තොටුපොළ නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. විරෝධතාකරුවන්ගේ අරමුණ වී ඇත්තේ ගුවන්තොටුපොළ කටයුතු පමණක් නොව, හොංකොං හි සියලුම කටයුතු අඩපණ කර රජයට තම විරෝධය පෑමය.

හොංකොං ස්වයං පාලන ප්‍රදේශයක් වන අතර, හොංකොං පාලිකා කැරී ලෑම් ඇතුළු පාලක මණ්ඩල සාමාජිකයෝ චීන හිතවාදීහු වෙති. ඔවුන් චීනයට අවශ්‍ය පරිදි තීන්දු තීරණ ගන්නා බවට චෝදනා එල්ල වී ඇත. හොංකොං වැසියෝ, චීනයෙන් එල්ල වන බලපෑම්වලට විරෝධය දක්වමින්, තමන්ට නිදහස අවශ්‍ය බව පවසමින් හොංකොං පාලකයන්ට විරෝධය පළ කරති.

එසේ විරෝධය දක්වමින් සාමකාමීව ආරම්භ වුණු විරෝධතා රැළි, කැරැලි මර්දන පොලිසිය යොදවා විසුරුවා හැරීමට හොංකොං බලධාරීහු කටයුතු කළහ. විරෝධතා උත්සන්න වී, ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන ඇත්තේ ඒ අනුවය. විරෝධතාකරුවන් මර්දනය කිරීමට පොලිසිය ගෙන ඇති ක්‍රියා මාර්ග හොංකොං වැසියන්ගේ දැඩි අප්‍රසාදයට හේතුවක් වී ඇත.

හොංකොං පාලිකා කැරී ලෑම් විරෝධතාකරුවන්ට සිය අප්‍රසාදය පළ කර ඇත. නිදහස ඉල්ලමින්, හොංකොං ආර්ථික කේන්ද්‍රස්ථානය විනාශ කිරීමට ඔවුන් උත්සාහ ගන්නවා යැයි පාලිකා කැරී ලෑම් විරෝධතාකරුවන්ට චෝදනා නකර තිබේ. මේ අතර හොංකොං හි උත්සන්න වෙමින් පවතින කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තම කනස්සල්ල පළ කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

හොංකොංහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS