සෞදි අරාබි කතානායක ජනපති හමුවෙයි



ශ්‍රී ලංකාවට පැමිණ සිටින සෞදි අරාබි කතානායක ආචාර්ය අබ්දුල්ලා බීන් මොහොමඞ් බීන් ඊබ්‍රහම් අල් ෂෙයික් මහතා (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු විය.

දෙරට අතර පාර්ලිමේන්තු සබඳතා පුළුල් මට්ටමකට ගෙන ඒමට කටයුතු කරන බව මෙහිදී කථානායකවරයා ප්‍රකාශ කළ අතර ඒ වෙනුවෙන් ඉදිරියේ දී නව ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බව ද පැවසීය.

ලංකාව සහ සෞදි අරාබිය අතර සහයෝගිතාව ක්ෂේත්‍ර ගණනාවකින් වර්ධනය කර ගැනීම පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වූ අතර සෞදි අරාබිය සෞදි අරමුදල හරහා ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍ර වල සංවර්ධනයට දීර්ඝ කාලයක සිට ලබාදෙන සහයෝගයට සෞදි රජය වෙත ස්තූතිය පළ කිරීමට ද ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කර ගත්තේය.

එමෙන්ම හජ් වන්දනාකරුවන්ට ලබාදෙන පහසුකම් පිළිබඳව ද ජනාධිපතිතුමා සිය ප්‍රශංසාව පළ කළ අතර ඉදිරියේ දී හජ් වන්දනාවට ශ්‍රී ලාංකික බැතිමතුන් වැඩි පිරිසක් සහභාගී කරවීමට අවස්ථාව සලසාදීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද ජනාධිපතිතුමා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

හජ් වන්දනාකරුවන් සඳහා ලබාදෙන පහසුකම් පුළුල් කිරිමට මේ වනවිට කටයුතු කරමින් සිටින බව ප්‍රකාශ කළ කථානායකවරයා එම කටයුතු නිමවීමෙන් අනතුරුව ජනාධිපතිතුමාගේ ඉල්ලීම ඉටු කිරීමට පියවර ගන්නා බව සඳහන් කළේය.

ලාංකිකයන් 136,000ක් පමණ පිරිසක් මේ වන විට සෞදි අරාබියේ සේවය කරන අතර ඔවුන් ඉටුකරන කාර්යක්ෂම සේවාව පිළිබඳව ප්‍රශංසාව පළ කළ කතානායකවරයා තවත් ලාංකිකයන් වැඩි පිරිසකට නව රැකියා අවස්ථා ලබාදීම පිළිබඳ තම රජය අවධානයෙන් කටයුතු කරන බව ද පැවසීය.

තස්තවාදයට එරෙහිව කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ මෙන්ම සෞදි අරාබියේ ද අරමුණ බවත්, ත්‍රස්තවාදය යනු ආගමකට හෝ වර්ගයකට සීමාවූවක් නොවන බවත් කතානායකවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් සහ ශ්‍රී ලංකාවේ සෞදි තානාපතිවරයා ඇතුළු දූත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS