සබඳතා ශක්තිමත් කරගත යුතුයි



කලාපීය සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් ඉන්දු-ලංකා සබඳතා ශක්තිමත් හා වැඩි දියුණු කළ යුතු යැයි ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඒකාබද්ධ හමුවකට එක්වෙමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නවදිල්ලි නුවරදී ඊයේ (8) පැවැසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ නවදිල්ලි නුවර හයිද්‍රාබාද් නිල නිවස්නයේදී ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරු දෙදෙනා එක්ව මෙම ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූහ.

අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරන බවත් මාගේ ආරාධනය පිළිගනිමින් පළමු නිල විදෙස් සංචාරය ලෙස ඉන්දියාවට පැමිණීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කෘතඥතාව පළ කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එහිදි කීවේය.

සිය රජයේ අසල්වැසියාට ප්‍රමුඛත්වය ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාව සමඟ තිබෙන සබඳතාවලට මුල්තැන දෙන බව හෙතෙම එහිදි කීය. කලාපීය ආරක්ෂාව සහ සංවර්ධනය වෙනුවෙන් ඉන්දියාව සමඟ කටයුතු කිරීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් වීම සාදාරයෙන් පිළිගන්නා බව ද ඔහු කීවේය.

ද්විපාර්ශවීය කරුණුවලට අමතරව අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ගෙන දෙන ජාත්‍යන්තර කරුණු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟා සාකච්ඡා කළ බව කී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කලාපයට තිබෙන ප්‍රධානතම අනතුර ත්‍රස්තවාදය යැයි ද පැවැසීය.
පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය වේදනාකාරී බවත් එය ශ්‍රී ලංකාවට පමණක් නොව මනුෂ්‍යත්වයට එල්ල වූ පහරක් යැයි ද කීය.

ත්‍රස්තවාදයට එරෙහිව දෙරට අතර පවතින සහයෝගීතාව වැඩි කරගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වූ බව කී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ ප්‍රමුඛතම ආයතනවල ක්‍රියාත්මක වන ත්‍රස්ත විරෝධී පාඨමාලාවලට ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන් සහභාගී වීම සතුටට කරුණක් යැයි ද කීවේය.

දෙරටේ ආයතන විශේෂයෙන්ම බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීවේය.  
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඒකාබද්ධ ආර්ථික ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බව කී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඒ තුළින් දෙරටේ ජනතාව අතර සබඳතා වැඩි කරන බවත්, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන බවත් පැවැසීය.

සංහිඳියාව සම්බන්ධයෙන් ද විවෘතව සාකච්ඡා පැවැත්වූ බව කී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සාමය, සමානාත්මතාව, යුක්තිය හා සාධාරණත්වය සහ ගෞරවය උදෙසා දෙමළ ජනතාවගේ ඇති බලාපොරොත්තු ශ්‍රී ලංකා රජය තේරුම් ගනු ඇතැයි තමන්ට විශ්වාස බව ද කීවේය.

ඒ සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරමින් සංහිඳියා ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යෑම අවශ්‍ය බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීවේය.    

ඡායාරූප ඒ.එෆ්.පී. 

RECOMMEND POSTS