වානරයන්ටත් කොරෝනා එන්නතක්



ඇමෙරිකාවේ සැන් දියේගෝ සත්වෝද්‍යානයේ ගොරිල්ලන්, චිම්පන්සීන්, ඖරන්ඌටන් වැනි මහා වානරයන්ටත් නව දෙනකුට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට සත්වෝද්‍යාන බලධාරීහු පියවර ගත්හ.

සත්වෝද්‍යානයේ වානරයන්ට ලබා දීම සිදුවූයේ සතුන් වෙනුවෙන් ඇමෙරිකා ඖෂධ නිෂ්පාදන සමාගම් නිපදවා ඇති විශේෂ ආකාරයක කොරෝනා වළක්වන එන්නතකි.

මෙය තවමත් අත්හදා බැලීමේ එන්නතක් බව සත්වෝද්‍යානයේ ප්‍රකාශිකා ඩාර්ලා ඩේවිස් මාධ්‍ය වෙත ඊමේල් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ.

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය, මිනිසාට ආසානය වූයේ, සතුන්ගෙනි. විද්‍යාඥයන් අනුමාන කරන අන්දමට, වයිරසය වවුලන්, කබැල්ලෑවන් හරහා මිනිසුන්ට ආසාදනය වන්න ඇතැයි සැක කෙරේ.

වයිරසය, මිනිසුන්ගෙන් සතුන්ට යළි වයිරසය ආසාදනය වෙයි. සැන් දියේගෝ සත්වෝද්‍යානයේ සිංහයන්ට, ව්‍යාඝ්‍රයන්ට සහ වානරයන් කිහිප දෙනකුට වයිරසය ආසාදනය වූ බව මීට මාස කීපයකට වාර්තා විය.

සැන් දියේගෝ සත්වෝද්‍යානයේ එන්නත ලබා ගත් ඖරන්ඌටන් සිවුදෙනා අතරේ 28 හැවිරිදි කැරන් නමැති සුමාත්‍රා ඖරන්ඌටන් ද සිටී. මැය සැන් දියේගෝ සත්වෝද්‍යානයේ කැපී පෙනෙන චරිතයකි. ඒ, 1994 වසරේ දී ඇය විවෘත හදවත් සැත්කමකට ලක්වීම හේතුවෙනි. ලෝකයේ වානරයකුට හදවත් සැත්කමක් කළ පළමු අවස්ථාව එය විය.

ඊට අමතරව, 48 හැවිරිදි, වින්සන් නමැති සිල්වර් බෑක් ගොරිල්ලාට ද එන්නත ලබා දීම සිදුවිය. වින්සන් නියුමෝනියාවෙන් සහ හදවත් රෝගී තත්ත්වයකින් පෙළෙන හෙයින් ඔහුට ද ප්‍රමුඛත්වය දී එන්නත ලබා දීමට කටයුතු කළ බව සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරු පැහැදිලි කරති.

සැන්දියේගෝහිදීය (රොයිටර්)


RECOMMEND POSTS