වරාය නගරයේ ගොඩකිරීම් අවසන්



කොළඹ ගාලු මුවදොර මුහුදු ප්‍රදේශයේ හෙක්ටයාර 269ක් ගොඩකර ඉදිකෙරෙන 'කොළඹ වරාය නගරයේ' ඉදිකිරීම සඳහා මුහුද ගොඩකිරීමේ කටයුතු පසුගියදා සම්පූර්ණයෙන් අවසන් කෙරිණි.

මෙය මෙරට ඉදි‍කෙරෙන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන අතර මීළග අදියර ලෙස එහි ගොඩනැඟිලි සහ අනෙකුත් ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.

ආරම්භයේදී සියලූ අංග ඇතුළත් නාගරික උද්‍යානයක්, ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක්, ජාත්‍යන්තර පාසලක්, ජාත්‍යන්තර රෝහලක් සහ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවක් මෙහි ඉදිකෙරෙනු ඇත.

වරාය නගරය වැලි පුරවා ගොඩකිරීමේ කාර්යය මාස 28ක් පුරා සිදුකෙරුණේ චීනයේ සුවිශේෂි නෞකා සහ නවීන තාක්ෂණික පද්ධති යොදාගනිමිනි.

වරාය නගරයේ ඉදිකිරීම් ආරම්භ වූයේ චීන ජනාධිපති ෂි ජිංපින්ග් සහ එවකට ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 2014 වසරේ සැප්තැම්බර් මස 16 වැනිදාය.

මෙය ආරම්භයේදී පරිසර සංවිධාන හා බොහෝ පාර්ශවවලින් විරෝධතාවන් ද මතු වූ අතර මෙම නගරය ඉදිකිරීම ගැන දෙවරක් සිතා බලන බවට පසුගිය 2015 වසරේ පැවති ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී දේශපාලන පොරොන්දු පවා ලබාදීමට වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ එක්සත් ජාතික පෙරමුණු පාර්ශවයන් කටයුතු කර තිබිණි.

ඒ අනුව මෙහි ඉදිකිරීම් කලක් නවතා දමා තිබූ අතර පසුව නැවතත් පරිසර හා තාක්‍ෂණික ආදී ඇගයීම් වාර්තා ලබාගැනීමෙන් අනතුරුව යළිත් මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණේ නව රජයේ මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය යටතේය.

මෙහි ආර්ථික කලාපය පළමුව ඉදිකිරීමට නියමිත අතර සමස්ත ව්‍යාපෘතිය තවත් වසර 25කින් පමණ අවසන් කෙරෙනු ඇත. 

මෙම කොළඹ වරාය නගරය අති නවීන පහසුකම් රැසකින් සමන්විත වනු ඇති අතර බැංකු කාර්යාල, අලෙවිසල්, හෝටල් හා ආපනශාලා, තානාපති කාර්යාල, නිවාස හා නිවාස ඒකක, බද්ධ නිවාස ගොඩනැඟිලි, සෞඛ්‍ය, අධ්‍යාපන සහ පර්යේෂණ හා සංවර්ධන ආයතන, විවෘත වෙළෙඳ ප‍්‍රදේශ, රූපලාවන්‍ය, බේකරි, රෙදි සේදුම්, මුද්‍රණ, පරිගණක අලූත්වැඩියා, කුඩා පරිමාණ කලා හා අත්කම්, මෝටර් රථ හා මෝටර් සයිකල් නඩත්තු, පයිප්ප වැඩ, වඩු වැඩ සහ වෙනත් ඒ ආකාරයේ කුඩා ව්‍යාපාර, ආපනශාලා, පේ‍්‍රක්ෂකාගාර, පුවත්පත් විකුණුම් ස්ථාන, පොත් සාප්පු, එළිමහන් හා ගෘහස්ත විනෝදාස්වාද ස්ථාන, කලාගාර, සමාජ ආර්ථික මධ්‍යස්ථාන, ප‍්‍රජා මධ්‍යස්ථාන ආදී අංග රැසකින් සමන්විත වනු ඇතැයි ද මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මෙම නගරය කටුනායක හා සම්බන්ධ කෙරෙන අධිවේගී මාර්ගයක් ද ඉදිකිරීමට නියමිතය.

ඩයනා උදයංගනී
කොළඹදීය

 


RECOMMEND POSTS