ලොවම කැලඹූ නවසීලන්ත වෙඩි තැබීම



නවසීලන්තය දූපත් රාජ්‍යයකි. ක්‍රයිස්ට්චර්ච් නගරය පිහිටා ඇත්තේ නවසීලන්තයේ දකුණු දිවයිනේය. අද (15) ක්‍රයිස්ට්චර්ච් නුවර අල් නූර් මුස්ලිම් පල්ලියට කඩා වැදුණු උම්මත්තක ත්‍රස්තවාදියකු පල්ලියේ දේව මෙහෙයට සම්බන්ධ වුණු පිරිස් වෙඩි තබා මරා දැම්මේය. වෙඩි ප්‍රහාරයත් සමඟ හිස් ලූලූ අත දුවන්න වූවන් පසුපස පන්නමින් වෙඩි තැබුවේය. වෙඩි පහර කා තුවාල ලැබූවන් සොයමින් ඔවුන්ට වෙඩි තැබුවේය. දකින දකින සැමට වෙඩි තැබුවේය.

අල් නූර් මුස්ලිම් පල්ලියට කඩා වැදී වෙඩි තැබීම කළ උම්මත්තකයා ඕස්ට්‍රේලියානු ජාතික ත්‍රස්තවාදියෙකි. අවුරුදු 28 ක් වයසැති ඔහු බ්‍රැන්ටොන් ටැරන්ට්ය. මොහු නිව් සවුත් වේල්ස්හි ග්‍රැෆ්ටොන් පදිංචිකරුවෙකි.

බ්‍රැන්ටොන් ටැරන්ට්, හමුදා ඇඳුමින් සැරැසී, ස්වංයක්‍රීය ගිනි අවිවලින් සන්නද්ධව, මෝටර් රථයක් පදවමින්, අල් නූර් මුස්ලිම් පල්ලිය අසලට ගොස් කාරය නවත්වා, ඉන්පසු අල් නූර් ​මුස්ලිම් පල්ලිය ඇතුළට ගොස් අද සිකුරාදා දේව මෙහෙයට සහභාගී වී සිටි නවසීලන්ත මුස්ලිම් වැසියන් පන්න පන්නා කළ ඒ අමානුෂික ​වෙඩි තැබීම සජීවීව ප්‍රසිද්ධියට පත් විය. එය කරනු ලැබුවේ ද බ්‍රැන්ටොන් ටැරන්ට් විසිනි. දසුන් ප්‍රසිද්ධ කළේ ඔහුගේ ෆේස්බුක් ගිණුම ඔස්සේය. බ්‍රැන්ටොන් ටැරන්ට් ඒ අමානුෂික ඝාතනය මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේත්, විදෙස් ප්‍රවෘත්ති නාළිකා ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.

නවසීලන්ත රජය හෝ ​එරට ආරක්ෂක අංශ හෝ මෙවැනි බිහිසුණු අත්දැකීමකට මීට පෙර මුහුණ පා සිටියේ නැත. අප දන්නා කාලයක නවසීලන්තයේ මෙවැනි කුරිරු ත්‍රස්ත ක්‍රියාවක් සිදුවී නැත. එසේ වුවත්, නවසීලන්ත ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක විය. අල් නූර් පල්ලියට ඔවුහු වහා පැමිණියහ. පොලිස් නිලධාරීන්, බ්‍රැන්ටොන් ටැරන්ට් පමණක් නොව, තවත් තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුහ. ඒ අතර කාන්තාවක ද සිටී. මොවුන් අන්තවාදී අදහස් දරණ පිරිස් බවත්, ත්‍රස්තවාදීන් ලෙස සැක කළ අය නොවන බවත් නවසීලන්ත ආරක්ෂක අංශ පසුව පැවැසීය.

අල් නූර් මුස්ලිම් පල්ලියේ පමණක් නොව, තුවාලකරුවන් කඩිනමින් ඇතුළු කළ ක්‍රයිස්ට්චර්ච් රෝහල ඉදිරිපිට ද වෙඩි තැබීමක් සිදුවිය. ඊට අමතරව, ලින්ඩුන් වීදියේ ද වෙඩි තැබීම් සිදුවිය. මේ සියලු වෙඩි තැබීම්වලින් මියගිය ගණන 40 ක් බවත් තුවාල ලැබූ ගණන 50 කට ආසන්න බවත් පැවැසිණි. එම ගණන තවත් ඉහළ යා හැකි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම නවසීලන්ත සංචාරයකට ගොස් සිටි අතර, ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනකු අල් නූර් පල්ලියේ දේවමෙහෙයට සහභාගී වී සිටි බව ද පැවැසෙයි. කෙසේ නමුත් ඔවුන්ගෙන් කාටවත් අනතුරක් සිදුවී නැත. ඒ, වෙඩි තැබීමත් සමඟ පිරිස පණ බේරාගෙන එතැනින් පිටවී දිව ගොස් ඇති නිසාය. මීට අමතරව, රෝහල අසල මෝටර් රථ දෙකක් තුළ පුපුරන ද්‍රව්‍ය අටවා තිබී පොලිසියට හමුවිය. බෝම්බ නිෂ්ක්‍රීය අංශ සාමාජිකයන් වහා ක්‍රියාත්මක වී ඒවා නිෂ්ක්‍රීය කිරී​මෙන් සිදුවන්නට ගිය මහා අනතුරක් වැළැක්විණි.

තමන් මේ බිහිසුණු ක්‍රියාව කරන්නේ ඇයිදැයි හේතු පැහැදිලි කරමින්, වෙඩි තැබීමට පෙර බ්‍රැන්ටොන් ටැරන්ට්, ට්විටර් ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශනයක් ද ප්‍රසිද්ධියට පත් කර තිබේ. එහි සඳහන් ආකාරයට බ්‍රැන්ටොන් ටැරන්ට් දැඩි මුස්ලිම් විරෝධියෙකි. එපමණක් නොව, මුස්ලිම් ආගමට හැරෙන සුදු ජාතිකයන් සම්බන්ධයෙන් ඔහු දැඩි ද්වේශයෙන් පසුවෙයි. එසේ ආගම වෙනස් කරන පුද්ගලයන් බ්‍රැන්ටොන් ටැරන්ට් විසින් හඳුන්වා දෙනු ලැබ ඇත්තේ ‘ලේ ද්‍රෝහීන්’ ලෙසය.

නෝර්වේ රාජ්‍ය්‍ය ලොව ඉතා සාමකාමී රටවලින් එකකි. 2011 වසරේ දී, ඒ සියල්ල වෙනස් විය. ඒ, ඔස්ලෝ නුවර සිදුවුණු වෙඩි ප්‍රහාරයකින් පසුවය. වෙඩි තැබීම කළේ ඇන්ඩර්ස් බ්‍රෙවික් ය. (මොහු ආරක්ෂක අංශ විසින් අත්ඩංගුවට ගත් අතර, පසුව නඩු විභාගයක් ද පැවැත්විණි.) ඇන්ඩර්ස් බ්‍රෙවික් වෙඩි තබා අමු අමුවේ 77 ක් මරා දැම්මේය. එම වෙඩි තැබීම සිදුවූයේ මුස්ලිම් සංක්‍රමණිකයන්ට විරෝධය දැක්වීමක් ලෙසය. ඇන්ඩර්ස් බ්‍රවික් තමාගේ වීරයකු බවත්, ඔහු තමන්ට පන්නරයක් වූ බවත් බ්‍රැන්ටොන් ටැරන්ට් සිය ප්‍රකාශනයේ සඳහන් කර ඇත.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS