රැකගන්න බැරිවුණු කළු කොටියා



ශ්‍රී ලංකාවට ආවේණික වඳවීයාමේ තර්ජනයට මුහුණ පා ඇති  ඉතා දුර්ලභ සත්වයෙක් බවට සැළකෙන කළු පැහැති කොටියෙක් (Black Panther) මෙරටින් හමුවූයේ ඉකුත් ජනවාරි මාසයේ වන අතර එය වනජීවී ක්ෂේත්‍රයේ විශිෂ්ට සොයාගැනීමක් ලෙස ද සැලකිණි.

සිරිපා අඩවිය අවට වනාන්තරයක ජීවත් වන මෙම සත්ත්වයා එහිදී වනජීවී දෙපාර්තමේන්‍තුවේ කැමරාවකට හසුවී තිබූ අතර එම කළු කොටියා දඩයම්කරුවන්ගේ උගුලකට හසුව තිබුණේ මීට දින කිහිපයකට ඉහතදීය. එම උගුලකට හසුවීම නිසා බරපතල තුවාල ලබා තිබූ මෙම ‍කළු කොටියා උඩවලව ඇත් අතුරු සෙවණේ පශුවෛද්‍ය රෝහලෙහි තේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉතා අවාසනාවන්ත ලෙස අද (29) පෙරවරුවේ මිය ගොස් තිබේ.

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන, වලමලෙයි වත්තේ වතු යායේ එලවළු වගා භුමියක දඩයම්කරුවන් විසින් අටවා තිබු මන්දකට ඉකුත් 26 වැනිදා හසුවී සිටි මෙම කළු කොටියා වනජීවී නිලධාරීන් විසින් පසුගියදා නිර්වින්දනය කොට බේරා ගෙන ප්‍රතිකාර සඳහා යොමු කර තිබිණි.

මන්දට හසුවී සිටියදී ...

වනජිවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරියබණ්ඩාර මහතා පැවසුවේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට පියවර ගෙන ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට ද පියවර ගන්නා බව වනජිවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේය.

මෙම කළු කොටියා හසුවූ මන්ද ඇටවීම සම්බන්ධයෙන් සැකපිට එම වගාබිමේ හිමිකරු අත්අඩංගුවට ද ගෙන තිබේ.

දිගින් අඩි 6 ක්  සහ උස අඩි 4 ක් පමණ වන, අවුරුදු  8 ක් පමණ වයසැති මෙම කළු කොටියා හොදින් වැඩුණු කොටියෙකු බව වනජීවි නිලධාරීහු පවසති. 

කොටියෙකු කෑ ගසන ශබ්දය ඇසී වතු කම්කරුවන් ඒ පිළිබඳව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට කළ දැනුම්දීමකට අනුව, ඔවුහු එහි පැමිණ සොයා මෙම කොටියා සොයාගෙන ප්‍රතිකාර සඳහා යොමුකළත් එම සත්වයාගේ ජීවිතය ආරක්ෂා කරගැනීමට නොහැකිවීමෙන් රටට වටිනා සම්පතක් අහිමි විණි.

ජාන විකෘතියක් මත හැදුණු පන්තරා පාදුස් වාර්ගයේ කළු කොටින් ඉතාමත් සුළු ප්‍රමාණයක් ශ්‍රී පාද රක්ෂිතය ආශ්‍රිතව කළු කොටින් ඉතාමත් සුළු ප්‍රමාණයක් සිටින බවත් වාර්තා වේ.

නමුත් මෙරට කළු කොටි සිටින බවට මෙතෙක් පැහැදිලි සාක්ෂියක් ලෙස හමුවී තිබුණේ මෙම කොටියා පමණි.

සිරුරේ සාමාන්‍ය වර්ණය ගෙන දෙන වර්ණ දේහයක් ස්වභාවිකවම නොමැතිවීම හේතුවෙන් මෙලනීන් වර්ණකය වැඩි වීම නිසා කළු පැහැති කොටි හෙවත් Black Panther උපත ලබයි. ඒ අනුව කළු කොටියා යනු වෙනත් කොටි විශේෂයක් නොව මෙරටින් වාර්තාවන පැන්තරා පාඩුස් කොටියා යන උප විශේෂයේම ප්‍රභේදයක් බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඔවුන් ජීවත්වන පරිසරයේ අඳුරු ස්වභාවය හා අඩු උෂ්ණත්වය අනුව ශරීර වර්ණයට අදාල ප්‍රමුඛ ජාන නිලීන වීම නිසා මෙලෙස මෙලනීන් වර්ණකය වැඩි වී තිබෙන බව පර්යේෂකයන්ගේ මතය වී තිබේ.

කළු කොටි කිහිපදෙනකු ශ්‍රී ලංකාවේ වනාන්තර තුළින් වරින් වර වාර්තා වී ඇති අතර 2009 – 2012 කාලයේ දෙනියාය ප්‍රදේශයේදීද මෙම වර්ගයේ ‍කොටියන් හමුවී ඇත.

නමුත්  මීට වසර කිහිපයකට පෙර පිටදෙණිය මාවුල්දෙණිය ප්‍රදේශයේ දී මන්දකට අසුවීමෙන් කළු කොටියකු මියගින අතර ඉන් පසු එවැනි සත්ත්වයකු මෙරටින් වාර්තා වී නොතිබිණි. එම සත්ත්වයාගේ සම සංරක්ෂණය කර කළු කොටි අනුරුවක් සකස් කර ගිරිතලේ වන ජීවී කෞතුකාගාරයේ තැන්පත් කර ඇති අතර අදටත් එය වනජීවි පුහුණු හා පර්යේෂණ කේන්ද්‍රයේ දක්නට ඇත.

පශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතා පවසන්නේ ට්‍රිපිකල් එකෝ සිස්ටම් රිසර්ච් ආයතනයෙන් පරීක්ෂණ කටයුත සඳහා ලබාදුන් කැමරා ඇතුළු තාක්ෂණික උපකරණ භාවිතයෙන් මෙම සොයා ගැනීම සිදුකළ බවයි.

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS